Thursday, November 25, 2010

බුදුරුවගල - ලොව උසම සෙල් බුදු පිළිමයේ අසිරිය


මෙය මාගේ වෙනත් බ්ලොග් අඩවියක පළවූ පැරණි ලිපියක් නැවත මෙහි පළ කිරීමක් බව සලකන්න.
පැරණි ලිපියට සම්බන්ද වෙන්න >>

ආයුබෝවන් කිව්වා කස්ටියටම, කොහොමද සැප? සනීප? මාව අමතකාවෙලාවත්ද දන්නෑ.... ;-) කාලෙකින් බ්ලොග් එකේ ලිපියක් ලියන්න බැරි වුනා. දන්නෝ දනිති මං වනගත වෙලා හිටියේ කියලා. එහේට යහමින් ජාලේ තිබ්බෙත් නෑ කියන්‍නකො. සීඩීඇම්ඒ ෆෝන් කට්ටක් හම්බවුනා තමා, ඒකෙන් යාන්තං බස්(z) එක‍ට ගොඩවුනා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙලාවක් කලාවක් තිබුනේ නෑ නෙව. (රහසින් - බස්z එකේ උන්ටත් දැං බ්ලොග් ලිවිල්ල අමතක වෙලා J) වන ගත ජීවිතේ ගැන ලියන්න හිතන් හිටියත් ඒ සුන්දරත්වය ගැන කතා කරන්න කලින් හිතන්න ඕන රෙස්ට්‍රික්ෂන්ස් වගයක් තියෙනවා. ඒ නිසා ඒවා ගැන හිතලා වනගත ළමෝ ගැන පස්සේ වෙලාවක කියන්නම්. දැනට හිතාගන්නකෝ හිටියේ අධි ආරක්ෂිත කළාපයක කියලා.

දැං ලියන්න යන්නේ කැලෙන් එලියට ආපු දවසක ගියපු තවත් එක දෙසක් රියේ චාරිකාවක් ගැන.
මේ තමා බුදුරුවගල . ගොඩක් කස්ටිය අහලත් දැකලත් ගිහිල්ලත් ඇති. හැබැයි ඉතිං පුංචි කාලේ හරි ලොකු කාලේ හරි අධ්‍යාපන චාරිකා යනකොට ඉගෙන ගන්න දේවල් චාරිකාව අන්තිමේදී අමතකවෙන එක සාමාන්‍යදෙයක්නේ. ඒ නිසා ඒ මතකයන් අළුත් වෙන්නත් එක්ක සබ්ජෙක්ට් එක පැත්තටත් ‍ටිකක් නැඹුරු වෙලා මේ ලිපිය ලියන්න හිතුනා. කාටහරි කොයි වෙලේ හරි ඕන වෙන්නේ නැතෑ.

මේ චාරිකාව යද්දී නං ඉතිං මගේ හුරුපුරුදු ගමන් සහායිකාව වන බ්ලොගී හිටියේ නෑ. මාත් එක්ක මේ චාරිකාවට සම්බන්ද වුනේ වනගත වෙලා හිටපු මගේ අනිත් සගයා. දිනය මතකේ හිටිය‍ට පහුගිය ඔක්තෝබර් 18 වෙන්න ඕන. එදා දවසේ කැලේ අපිට කරන්න තිබ්බ වැඩේ කැන්සල් වුනා. ඒ නිසා මායි මගේ සගයයි දෙන්නා හිතුවා බුදුරුවගල යමු කියලා. අපි හිටපු තැනින් කිලෝමීටර් 35ක් විතර ඈතින් තමයි බුදුරුවගල තියෙන්නේ.

බදුල්ල බණ්ඩාරවෙල ඉඳන්  එනවා නං වැල්ලවාය නගරය පහුකරලා කිලෝමීටර 5ක් විතර එනකොට, එහෙම නැත්තං කතරගම, තිස්ස, හම්බන්තොට වගේ පැතිවල ඉඳලා එනවා නම් වැල්ලවායට කිලෝමීටර් 5ක් මෙපිටින් බුදුරුවගල මංසංදිය හමුවෙනවා. අඳුරගන්න හරිම ලේසියි. සංචාරක නිවාසයක් වගේම, බුදුරුවගල ඉස්කෝලෙත් තියෙන්නේ ඒ මංසංදියේම තමයි. එතනින් කැලේ ඇතුලට තියෙන පාරේ කිලෝ මීටර් 5ක් 6ක් යනකොට තමයි බුදුරුවගල හමුවෙන්නේ. 

ඉස්සරවගේ නෙමෙයි, පාරවල් එහෙම සෑහෙන දුරට හොඳනිසා ඕනෑම වාහනයකට මේ පාරේ යන්න පුළුවන්. අපියනකොටත් විදේශිකයන් කාණ්ඩ කිහිපයක්ම රෝසා බස් වල බුදුරුවගල බලලා ආපහු එමින් හිටියා. පාර ටිකක් කර්කෂ වුනත් බුදුරුවගල ජලාශය කිට්ටුවෙන අතරම ගස් කොලන් සෑහෙන්න පිරිච්ච ඉසව්වකින් යන්න වෙන නිසා ලොකු විඩාවක් දැනෙන්නේ නෑ. බුදුරුවගල ජලාශය හරිම ලස්සනයි. ඒත් අපි එතන නැවතුනේ ආපහු එන ගමනෙදීයි.

ජලාශේ පහුවෙනවත් එක්කම පරිසරය ගොඩක් නිහඬ වෙනවා. හරිම පාළුයි. ඉස්සර නම් මේ පැත්තේ සෑහෙන්න අලි එහෙමත් ඉඳලා තියෙනවා දැන් එච්චර නැති වුනාට.  බුදුරුවගලට ඔන්න මෙන්න කියලා තියෙද්දී පැරණි දාගැබක නටඹුන් පැත්තකින් දකින්න ලැබෙනවා. හැබැයි ඒ ගැන වැඩිපුර විස්තර නම් දැනගන්න ලැබුණේ නෑ.


එතනින් තව පුංචි දුරක් ගියාම බුදුරුවගල විහාරස්ථානයත් එක්කම වාහන ගාල් කරන තැන හම්බවෙනවා. අපි එතන අපේ අස්සයාව නවත්තලා පයින් බුදුරුවගල පැත්තට ඇවිද්දා. මෙතනින් එහාට තියෙන පඩිපෙල ගරා වැටිලා තිබ්බ අවධියක පුරාවිද්‍යා එකෙන් ඓතිහාසික බව සුරැකෙන විදිහට පඩිපෙල සෑහෙන්න නවීකරණය කරලා තියෙනවා. 



මේ හරියේ ඉන්නවා හරිම අපූරු බලු යාළුවෙක්. මෙයා අපිත් එක්ක අපේ බුදුරුවගල පුරාම ඇවිද්දා. ඒක එයාගේ පුරුද්දක්ලු. සමහරවිට දවසක ඔයාලටත් එයාව හම්බවේවි.

ඔන්න දැන් අපිට බුදුරුවගල පේනවා. සෑහෙක විශාල පර්වතයක් තමයි පිළිම නෙලලා තියෙන්නේ. ටිකක් ඈතින් පිංතූරේ ගත්තේ ඔය පර්වතය හොඳට පේන්න ඕන නිසා.




ඔය විශාල පර්වතයත් පිහිටලා තියෙන්නේ ඇතෙකුගේ ශරීරයේ හැඩයටයි. පිට පුදේශය, හිස, හොඬවැල ආශ්‍රිත ප්‍රදේශයත් එතනදී හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. 

බුදුරුවගල කියන්නේ ඉස්සර නම් ජනාවාස නැති කැලේ මැද්දේ තනි වුණ අපේ උරුමයක්. ඒත් දැන් ටිකක් ආසන්නය‍ට ජනාවාස ඇති වුනත් බුදුරුවලග තාමත් කැලේ මැද්දේ තනි වෙලා. මං කියවපු මූලාශ්‍රවල‍ට අනුව මේ අවට තියෙන නටඹුන් පවා තාම හරිආකාරව පුරාවිද්‍යා අධ්‍යයනයන්ද ලක් වෙලා නැහැ. ඒ නිසාද දන්නෑ දේශීය මෙන්න විදේශීය සංචාරකයන් පවා මේ ප්‍රදේශයට වැඩිපුර නොඑන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒත් හොඳම කතාව ඒක නෙමෙයි, තලේබාන්වරුන් විසින් විනාසකරපු ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වලට පස්සේ ඉතිරිව තියෙන ඒවාගෙන් විශාලතම ශෛලමය ප්‍රතිමා වන්නේ බුදුරුවල හැටියටයි සැලකෙන්නේ. ඒ නිසාම මෙය බලන්න වටිනම අඩවියක්.

අපි දැන් ටිකක් පර්වතය ලඟට යමු. මැද තියෙන්නේ බුදුරුවගල බුදු පිළිමයයි. එහෙම කියන්නට හේතුව අනෙක් පිළිම එකක් වත් බුදුපිළිම නොවන නිසයි. ඒ ගැන පසුවට කතා කරමු.



ලංකාවේ ථේරවාදය මුල්තැන ගෙන තිබුනත් මෙම බුදුපිළිම මහායානිකයන් විසින් වන්දනාමාන කිරීම සඳහා නිමැවූ බවයි පිළිගැනෙන්නේ. ඒ අතර උසින් මීටර් 13 වෙන මෙම පිළිමය දීපංකර බුදුන්ගේ බවයි පිළිගැනීම. නමුත් කඹුරුපිටියේ වනරතන හිමියන් මෙය ධ්‍යානී බුදුවරයකු වන අමිතාභ බුදුන් ලෙස අර්ථදක්වන බව මාලිංග අමරසිංහ (කැළණිය විශ්වවිද්‍යාලයේ ‍පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය) මහතා එතුමන් විසින් බදුරුවගල පිළිබඳ ලියා ඇති කෘතියෙන් හෙළිදරව් කරනවා. ඒත් එක්කම මේ බුදු පිළිමයෙන් සමභංග ඉරියව්ව නිරූපනය වෙන බවත් දකුණු අතින් අභය මුද්‍රාවත් පිළිබිඹු වන බව කියැවෙනවා. අවුකන වගේ  බුදුපිළිම වල ගලෙන්ම සිවුරේ රැළි නිර්මාණය කර තිබුනත් මේ බුදුපිළිමයේ බදාම තවරා ඒ මත පාට වලින් රැළි නිරූපණය කර තිබෙන බවත් තමයි කියැවෙන්නේ.

මේ බුදුපිළිමයත් එක්කම වම් පැත්තෙන් ගල් කුහරයක් තියෙනවා. කලකට කලින් මේ කුහරයෙන් තෙල් බේරුණු බවත් ඒ තෙල් හිස ගෑමෙන් ලෙඩදුක් නැතිවෙනබවටත් පිළිගැනීමක් තිබුනාලු. අදටත් තෙල් සාරය ගල් කුහරය ඇතුලේ තිබුනත් ‍අතේ ගෑවෙන්න තරම්ම එය පුමාණවත් නෑ. මමත ඉතිං කෝකටත් කියලා තෙල් සාරය ඔලුවේ ගාගත්තා. අපි නොදන්න මොන ලෙඩ අපිට තියෙනවාද දන්නෑනේ... 

 
දැන් අපි බලන්න ලෑස්ති වෙන්නේ, බුදු පිළීමයට වම්පසින් තියෙන පිළිම දිහාවයි.



වම් පැත්තෙන් තියෙන පිළිම තුනෙන් මැද තියෙන්නේ උඩුකය නිරුවත්, සමභංග ඉරියව්වෙන් යුත්, දෑතින් කටක මුද්‍රාව නිරූපනය වන මීටර් 7.1 අස යෝගී අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාවයි. සුදු පැහැති බදාමයකින් මේ ප්‍රතිමාව ලස්සන කරන්නත් සෑහෙන උත්සහ කරලා තියෙනවා. මහායානයේ දී අවලෝකිතේෂ්වර නිරූපනය කරන්නේ රන්වන් පැහැයෙන් වීම ඊට හේතුව බවයි මං අර කලින් කියපු පොතේත් සඳහන් වෙන්නේ.

මේ බෝධිසත්ව ප්‍රතිමාවට දකුණුපැත්තෙන් තියෙන්නේ මහායානය‍ට අනුව අවලෝකිතේෂ්වර බෝසතුන්ගේ භාර්යාව වූ යෝගී තාරා දේවියයි. කාන්තා ලාලිත්‍ය ඉස්මතු කිරීමේ අවශ්‍යතාව නිසාම මේ රුව දැක්වෙන්නේ ත්‍රිභංග ඉරියව්වෙන්. (මේ ඉරයව් ගැන අපේ තිස්සයියා හොඳට දනී) මීටර් 5.9 උස මේ ප්‍රතිමාවේද උඩුකය නිරුවත් ලෙස නිරූපනය කර තියෙන්නේ ඒ කාලයේ සම්පුදායට ස්ත්‍රී ලාලිත්‍යය පෙන්නුම් කිරීමටය. එම ප්‍රතිමාවේම දකුණු අතින් කටක මුද්‍රාවද, වම් අතින් නෙළුම් මලක් හෝ අමෘත කළස දරාසිටින බවත් කියැවෙනවා.

බෝධිසත්න ප්‍රතිමාවට වම් පැත්තෙන් ඇත්තේ සුධන කුමාර ප්‍රථිමාවයි. මීටර් 6.5ක් උස උඩුකය නිරුවත්, කටක මුද්‍රාවෙන් යුත් සුධන කුමාර ප්‍රතිමාවයි.
ඒ පිළිම තුනම තවත් කැමරා කෝණයකින්.

 
ඊලඟට අපි හැරෙන්නේ බුදුපිළිමයට දකුණු පැත්තෙන් තියෙන ප්‍රතිමා තුන දිහාවටයි. මෙන්න සමීප දසුනක්.



මේ ප්‍රතිමා තුනේම තියෙන වැදගත් කම තමයි අනෙක් ප්‍රතිමා වලට සාපේක්ෂව සවිස්තරාත්මකව කැටයම් නෙළා තිබීම. සමහරවිට ගල් පර්වතයේ මේ හරිය අනිත් තැන් වලට වඩා සුමටව තියෙන්න ඇති. කොහොම වුනත් මුහුණේ ඉරියවු, ඇඳුම්  ආයිත්තම් පවා තාමත් හොඳින් දැක ගන්න පුළුවන් විදිහට නිර්මාණයේ කැටයම් ඉතුරුවෙලා තියෙනවා. මෙතන මැද තියෙන්නේ මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවයි. උසින් මීටර් 7ක් එය. රාජකුමාරයකුගේ මෙන් වැඩිපුර රාජාභරණ වලින් යුක්තව නිර්මාණය කරලා තියෙන මේ ප්‍රතිමාවද උඩුකය නිරුවත්ව, දෑත් කටක මුද්‍රාවෙන්ද තමයි නිරූපරනය කරලා තියෙන්නේ.

මුහුණේ ඉරියව් මොනවට පිළිබිඹුවන බොහෝම ආසන්න දසුන් කිහිපයකුයි මේ.



මෛත්‍රී ප්‍රතිමාවටත් දකුණුපැත්තෙන් (ඉදිරියෙන් බැලූවිට) තියෙන්නේ වජ්‍රපානී බොධිසත්ව ප්‍රතිමාවයි. ඒකත් මීටර් 6.4ක් උසයි. කටත මුද්‍රාවෙන් තියෙන දකුණු අතේ වජ්‍රයක් තබා ගෙන සිටින අයුරක් තියෙන නිසා තමයි මෙය වජ්‍රපානී බෝධිසත්ව රුව ලෙස හඳුනාගෙන තියෙන්නේ.

මෛත්‍රී බොධිසත්ව ප්‍රතිමාවට වම් පැත්තෙන් තියෙන මීටර් 6.4 උස ප්‍රතිමාව මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මංජු ශ්‍රී බොසතුන්ගෙන් මහා ප්‍රඥාව පෙන්නුම් කරන අතර, මෛත්‍රී බෝසතුන්ගේ ධර්මාචාර්ය වරයා ලෙසත් වාස්තු විද්‍යාව, චිත්‍ර හා මූර්ති කලාව උගැන්වූ උපදේශකයා මංජු ශ්‍රී බවත් මාලිංග අමරසිංහ සර් ගේ කෘතියේ පෙන්වා දී තියෙනවා.


හප්පේ... එක හුස්මට ලියාගෙන ගියා. කතාකරන බාසාවයි ලියන බාසාවයි කලවං වුනාද මං දන්නෑ.
දැං අපි ආපහු හැරිලා බුදුරුවගල ජලාශය දිහාවට යන්න ඕනා. ඔය අතරේ අපි බුදුරුවගල පංසලේ කියෙන පුංචි කෞතුකාගාරයටත් ගියා. පුංචි වුනත් බොහෝ දේ ඒ අතර තිබුණා.

පරණ කාසි, මැටි බඳුන්, උපකරණ වගේ ගොඩක් දේවල් ඒ පුංචි කුටිය පිරෙව්වා.







ඔය උඩ පිංතූරේ වැ‍ඩ ඉන්න ඔබ්බේගොඩ ධම්මතිලක ලොකු හාමුදුරුවෝ තමයි බුදුරුවගල පංසලේ ලොකු හාමුදුරුවෝ. ශාස්ත්‍රපති පදවියක් වගේම සිංහල ශබ්දකෝශයේ කර්තෘ පදවියකුත් ලොකු හාමුදුරුවන්ට තියෙනවා. කැලෑවෙන් වට වෙච්ච බුදුරුවගල, මිනිස්සුන්ට යන්න එන්න පුළුවන් පහසුකම් තියෙන තැනක් බවට පත් කරන්න ලොකු හාමුදුරුවෝ සෑහෙන්න මහන්සිවෙලා තියෙනවා. දැන් වැඩ ඉන්න ලොකු හාමුදුරුවෝ තමයි තැරෑලේ ධම්මරතන හාමුදුරුවෝ. හැබැයි අපි ගිය දවසේ නං උන්වහන්සේ බැහැදකින්න ලැබුණේ නෑ. කෙහොමින් කොහොමහරි, මාලිංග සර්ගේ පොතකුත් පංසලින්ම අරගෙන අපි ආපහු එන්න පිටත් වුනා. එතකොටත් තවත් විදේශිකයික් කාණ්ඩයක් බුදුරුවගල බලන්න ආවා.

අමතක කරන්න එපා දැන් අප‍ට හම්බ වෙන්නේ බුදුරුවගල ජලාශය. අපි ආපහු අස්සයා පිටේ නැගලා ටික දුරක් ආපස්සට ආවා.

බුදුරුවගල ජලාශේ පෝශණය වෙන්නේ මෙන්න මේ ඔයෙන්.


ඊට පස්සේ මෙන්න අපි ඒ මනරම් ජලාශය ඉස්මත්තේ.  



ඇත්තටම ලස්සනයි. වැව මැදදේ උඩ‍ට මතුවෙච්ච ගස් මුදුනේ කොක්කුයි තව කුරුල්ලෝ වගේකුයි ලැගලා ඉන්නවා. අපි කලින් ඔයාලව එක්කං ගිය ඉහල ඌව වගේ නෙමෙයි පහල ඌවේ හුලඟ හරි වියලියි. ඒත් වැවක් ගාව ඉන්නකොට‍ ඒ හුගඟටත් ජලවාශ්ප එකතුවෙන නිසාද කොහෙද ඇඟට හරිම සනීපයි.

වැව මැද්දේ සමීප දසුනක් ගන්න තරං අපේ නිකෝන් ඩිජිය සූක්ෂම නැතත් ඕන් පොඩි පහේ පොටෝ කෑලි දෙකක්.




හෙමින් සැරේ කළු වලාකුලකුත් මෝදු වෙනවා. අපිට යන්න කියනවාද කොහෙද? වහින එකනම් හොඳයි. මොකද ටික දවසකින් මෙහෙට වැස්සෙත් නෑලු. වැස්ස කාලෙට පහල පිංතූරේ වැව් කන්ඩියේ සුදුපාටට පේන මායිමටම වතුර පිරෙනවාලු. හැබැයි පායන කාලෙට වැව පතුලේ බයිසිකල් පදින්නත් ලඟ ගමේ ලමයි එනවාලු. :)



 එහෙනං අපේ ඒ චාරිකාවත් ඉවරයි. යන්න වෙලාව හරි.
හැමදාමත් වගේ මෙන්න පුංචි පණිවුඩයක්. “පරිසරය” එයා නැත්තං අපිත් නෑ. ඒ නිසා...

   
එක දිගට ලියාගෙන ගිය නිසා කතාකරන බාසාවයි ලියන බාසාවයි කවලං වුනානනං සමාවෙන්න. ආයේ දවසක තව කොහේ හරි යං. ඌව පළාතේ ඉහල ඌවයි පහල ඌවයි හාත්පසින් වෙනස්. මං කැමතියි ඊලඟ පාර නැවත ඉහල ඌවේ රවුමක් ගහන්න. කෝකටත් ඔට්ටු ඕෆ් රෝඩ් ගමන් සඟයෙක් ඉන්න නිසා බයක් නෑ. ඕන දිහාක යතහැකි.


හැබැයි මෙදාපාර ගමනට එක්කාසු විච්ච (බ්ලොගී නැති නිසා) මගේ අළුත් සගයාගේ පොටෝ එකක් ගන්න බැරුව ගියා. ගමනට මගෙත් එක්ක එකතු වුනාට උශාන් මල්ලිටත් පිං.

විස්තර ලියන්න සෑහෙන්න වටින මූලාශ්‍රක් වුනේ...

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මාලිංග අමරසිංහ සර් ගේ ඓතිහාසික බුදුරුවගල කියන පොතයි. වැඩි දුර විස්තර කියවන්න ආසනම් හොයාගන්න පුළුවන් කාටත්. ISBN : 978-955-51343-0-9

එහෙනං අදට නවතිමු. ආපහු චාරිකාවකින් හමුවෙනකල් ....

ජය...!!!
තවදුරටත් කියවන්න [...]

ලිප්ටන් සීට් - ලොව හොඳම තේ හැදෙන කඳු මුදුනට යමු...

මෙය මාගේ වෙනත් බ්ලොග් අඩවියක පළවූ පැරණි ලිපියක් නැවත මෙහි පළ කිරීමක් බව සලකන්න.
පැරණි ලිපියට සම්බන්ද වෙන්න >>  


ආයුබෝවන් කිව්වා කට්ටියටම. කොහොමද සැප? සනීප?

අද තවත් පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නේ. කට්ටියටම මතක ඇති පහුගිය වතාවේ, ඒකියන්නේ අපේ දෙසක් රියේ චාරිකාවේ 1 වැනි ගමනේ අපි ගිය දිහාව. අපි ගියේ ටවර්ස් බලන්නනේ. ඒකියන්නෙ බණ්ඩාරවෙලට උඩින් නායබැද්ද කන්ද මුදුනේ. එතන තමයි අයිටීඑන්, ස්වර්ණවාහිනී, ගුවන්විදුලි සංස්ථා වාගේම තවත් සම්ප්‍රේෂණ කුළුනු කිහිපයක්ම තිබ්බේ. අපේ ගමනේ අත්දැකීම්, බ්ලොග් එක හරහා ඔයාලත් බෙදාගත් වග ලැබුන ප්‍රථිචාර වලින්ම අපිට තේරුණා. බ්ලොග් පිටුව ඇතුලේදී වුනත් මලීට ඉන්දරේ‍ට පිස්සට ආදී කට්ටියටම  නායබැද්ද කන්ද මුදුනේ සීතල දැනිලා තිබුනා. :)

ඒ වගේම අපි ප්ලෑන් කරලා තිබ්බේ අපේ දෙවෙනි චාරිකාවත් බොහෝම ඉක්මනින්ම යන්න. ඒත් බ්ලොගීටයි මටයි ඒ වැඩේට සුදුසු ගමන් සගයෙක් හිටියේ නෑ. ඒ කියන්නේ සුදුසු දෙසක් රියක් හෙවත් සුදුසු බයික් එකක් තිබ්බේ නෑ. තිබ්බේ බජාජ් බොක්සර් එකක්. ඒකෙන් කඳු නගින්න අමාරු නිසා තමයි අපි අපේ ආදරණීය හාලි ඉපදෙනකං හිටියේ. ෂේනා හාලිව උපද්දවන්න මාස හය හතක් ගත්ත නිසා ගමනත් පරක්කු වුනා. ඒත් හාලි ඉපදිච්ච ගමන්ම මායි බ්ලොගීයි අපේ දෙවැනි චාරිකාව යන්න පිටත් වුනා. ඉතින් අද අපි බෙදා ගන්න යන්නේ ඔන්න ඔය දෙවැනි චාරිකාවේ අත්දැකීම්.

පළවෙනි චාරිකාවේ අන්තිමේදී අපි පොඩි හෝඩුවාවක් දුන්නනේ ඊලඟ පාර අපි කොහේද යන්නේ කියලා. අපි යන පාරත් ඔයාලට පෙන්නුවානේ. ඉතිං මුල ඉඳලාම කියන්නේ නැතුව අර පාරවල් දෙක බෙදෙන හංදියෙන් අපි දකුණට හැරුණ තැන ඉඳලා පටන් ගමු. අපි එදා හැරුනේ වමටනේ. අද දකුණට. ඒ කියන්නේ අපි යන්නේ “ලිප්ටන් සීට්”. තවත් විදිහකින් කියනවනම් ලංකාවෙන් රට පටවන, සුද්දෝ එලව එලව හොය හොය බොන, ඉතාමත්ම රසවත් සුපිරි ගනයේ තද කළු තේ (black tea) නිෂ්පාදනය කරන ලංකාවේ හොඳම තේ වත්ත මැදින් ගොඩාක් උඩකට යන්න. එතන තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ නැරඹුම් ස්ථානයක් එහෙම නැත්නම් විව් පොයින්ට් (view point) එකක් එහෙමත් නැත්නම් පිල්කිංටන් පොයින්ට් (pilkington point) එකක්. ඒතන නම ලිප්ටන් සීට්. ලිප්ටන් කිව්වම කාටත් කොහොමත් මතක් වෙන්නේ තේ නේ. :)

ගිය පාර අපි ගමන පටන් ගත්තේ හවස් වරුවේ ආරම්භයත් එක්කනේ. ඒත් මේ වතාවේ අපි හිතුවා ටිකක් උදෙන්ම ගමන යන්න. කලින්ට වඩා දුරත් වැඩියි. කිලෝ මීටර් 20කට වැඩිය මං හිතන්නේ එක දිගටම කන්ද. කොහොමත් අපි උදේ 9ට විතර බ්ලොගීල‍ගේ ගෙදරින් ගමන ආරම්භ කලා. කලින් වතාවේ වගේ ම බණ්ඩාරවෙල ස්ටේෂන් එකට උඩ පූනාගල පාරේ ටික දුරක් ඇවිල්ලා නායබැද්ද වත්ත පැත්තට හැරුණා. ෆැක්ටරි එකේ ගේට්ටුවෙන් ටිකට් ගන්න වෙලාවේ ගියපාර අංකල් වෙනුවට අළුත් අංකල් කෙනෙක් හිටියේ. පරණ කතාවම ආපහු කියන්න ඕන නැති නිසා අපි එයාගේ ෆෝටෝ එකක් ගත්තේ නෑ. මතකයිනේ පාර. ෆැක්ටරිය මැදින් කන්ද මුදුනට

 
අපි ඉක්මනටම පාරවල් දෙක බෙදෙන තැනට ආවා. අපරාදේ කියන්න බෑ අදත් මීදුම පිරිලා. සීතලේ බෑ. පුංචි බයකට තිබ්බේ ෆොටෝ කෑල්ලක් පැහැදිලිව ගන්න බැරිවෙයිදෝ කියන එක විතරයි.  මෙදා පාර අපි ණයට සංඛ්යාංක කැමරාවකුත් යාලුවෙක්ගෙන් ඉල්ල ගත්තා. පහුගියපාර ‍පිංතූර වල මනුස්ස පරාණ හරියට පේන්න නෑ කියලා ඉන්දරේ මලය කියලත් තිබ්බනේ. මෙදා ඒ ගැටළුව නෑ.
මෙන්න අපි හැරෙන තැන. වම‍ට ගියොත් ටවර්ස්. දකුණට ගියොත් ලිප්ටන් සීට්.


මේ කියන තැනින් දකුණට හැරුණම අපි එක කන්දකින් තව කන්දකට මාරු වෙනවා. තව විදිහකින් කියනවානම් එත තේ ජාතියකින් තව තේ ජාතියකට මාරුවෙනවා. ඒ කියන්නේ නායබැද්ද වත්තෙන් දඹේතැන්න වත්තට.

දඹේතැන්න වත්ත ඇත්තටම ලස්සනයි. වෙලාවකට හිතෙනවා මේ ලංකාවද කියලා. ඒ තරම්ම ලස්සනට පිළිවෙලට ඒ වත්ත මේන්ටේන් කරනවා. කුණු ඩිංගක්වත් එහෙ මෙහෙ විසිකරලා නෑ. එහෙම නැතුව කොලිට් එක තියාගන්න බෑනේ. අනික මතකනේ, කලින් වතාවෙත් කිව්වා මෙහේ මිනිස්සු පරිසරේට හරිම ආදරෙයි. ඒ මිනිස්සු ඉපදෙන්නේ මේ මීදුම මැ‍ද්දේ. පුංචිකාලේ සෙල්ලං කරන්නේ මේ මේ මීදුමකත් එක්ක තේ වතු මැද්දේ. රස්සාව‍ට කරන්නෙත් තේ ගස් එක්ක ඔට්ටු වෙන එක. මැරිලා යන්නෙත් මීදුම් හීතලේ. ඒකයි උන් මේවට එච්චර ආදරේ.

මේ තමයි අපි යන පාරට ඈත පේන හැටි. මතක ඇතුව ක්ලික් කරලා ලොකු කරලා බලන්න. මෙදා පාර පොටෝ ටික යහමින් තියෙනවා.


විනාඩි දෙකයි එකදිගට. මෙන්න අපි දැන් දඹේතැන්න වත්තට පිවිසුනා.



මේ හරියෙන් තමයි වත්ත පටන් ගන්නේ. මේ වත්ත හැරිම විශාලයි. ඩිවිෂන්ස් කිහිපයක්ම තියෙනවා. අපේ පාර දැන් දිග ඇරෙන්නේ බණ්ඩාරඑළිය ඩිවිෂන් එක දිහාවට. මේ හරිය වෙලාවකට ලොකු සානුවක් වගේ පේනවා. තවත් වෙලාවකට නිම්නයක් වගේ. මීදුම එක එක පැත්තට පෙරළි පෙරළි අපිව පිස්සු වට්වනවා. ස්වභාවධර්මයේ අපූරුතම චමත්කාරයන් අපි ඉස්සරහා මවනවා.

මේ බලන්න අපි යන පාරෙන් පහල පැත්තේ හපුතලේ පැත්තට වෙන්න තියෙන බෑවුම. එක දිගටම තේ යාය. පහල හරියේ ගමකුත් තව ෆැක්ටරි එකකුත් පේනවා නේද? අපිට පේනවා හරිනම් ඒතමයි දඹේතැන්න වත්තේ නැවුම් තේ දළු වලින් බ්ලැක් ටී හදාගන්න ෆැක්ටරිය.




බලන්න මීදුම කොච්චර අපූරුව‍ට කඳු දෙක මැද්දෙන් උඩට පාවෙලා එනවද කියලා.  මෙන්න පුංචි ඉඟියක්. ඔය උඩ දෙවැනි පිංතූරේ තියෙන කන්ද උඩට තමයි අපි යන්න ඕන. සෑහෙන්න උසක්. මට අපේ හාලිව ෂුවර්. ඒ නිසා ඔය කන්ද මහ කජ්ජක් නෙමෙයි.

හැබැයි එක තැනකදී අපට පාර වැරදෙන්න ගියා. පහල පිංතූරේ තියෙන ටැක්ටරේ ගිය අය තමයි අපිව හරිගැස්සසුවේ. නැත්නම් අපි එක පාරින්ම පල්ලමේ හපුතලේ ;) බලන්න පාර. පීත්ත පටියක් වගේ “කව අතු කපපු” තේ යාය මැද්දෙන් යන අපූරුව. ඔය තේ රිලේ‍ටඩ් වර්ඩ්ස් අපේ බ්ලොගී හොඳට දන්නවා. මොකද එයා ඉපදුනෙත් බදුල්ලේ තවත් ලස්සනම තේ කළාපයක් මැද්දේ.



හප්පේ ඔන්න අපි බණ්ඩාරඑළිය ඩිවිෂන් එකට ආවා. මං කිව්වත් වගේ ඇත්තටම ලංකාවද කියලත් හිතෙනවා. බණ්ඩාරඑළිය ඩිවිෂන් එක එච්චරකට ලස්සනයි. එක දිගටම යායට ලා කොළ පාට නාඹර තේ ගස්. ඒ ගස් ලඟින් එන නැවුම් සුවඳ මට මේ බ්ලොග් එකේ වචන වලින් විස්තර කරන්න හරිම අමාරුයි. ඔයාලත් දවසක ඇවිල්ලම බලන්න වටිනවා මේ දේවල්.

මෙන්න බණ්ඩාරඑළිය ඩිවිෂන් එක. ලොකු කරලම බලන්න අපූරුව.



මෙතන ඉඳන් කිලෝමීටර් 3ක් තියෙනවා ලිප්ටන් සීට් එකට. නොදැනුවත්වම සෑහෙන්න දුරක් ඇවිල්ලා කන්ද උ‍ඩට. අනික කතාව පටන් ගත්තෙත් මුල ඉඳන් නෙමෙයිනේ. එදා නවත්තපු තැන ඉඳන්නේ. සීතල නිසයි, මේ සුන්දරත්වය නිසයි ඇඟට කිසිම අමාරුවක් නෑ. ඒත් බයික් එකේ පිටිපස්සේ බම්ප් වෙවී ඇවිල්ලා බ්ලොගියට මහන්සිදත් මන්දා? ;)


මේ තේ ගස් සෑහෙන්න උවමනාවෙන් මහන්සියෙන් බලා කියා ගන්න ඒවා. ඒ මහන්සිය නිසයි අපේ තේ වල උසස් තත්ත්වය ලෝකේ පුරාම තාමත් රැඳිලා පවතින්නේ.  බලන්න ලස්සනයි එක රටාවට එක උසට තේ ගස් හැදිලා ලා දළු දාලා තියෙන උජාරුව. මේ ලා දළු වල තියෙන දිලිසෙන ඔපේ බිට්ස් ඇන්ඩ් බයිට්ස් වලට හරවන්න අපේ කැමරාව කොච්චර දක්ෂද කියලා මම දන්නේ නෑ. ඒක ඔයාලම තීරණය කරන්න ලොකු කරලා බලලා.



තේ වත්තක් කිව්ව‍ට මේක තනි වත්තක් නෙමෙයි. ලොකු වතු ජාලයක්. නිෂ්පාදනයේ උසස් තත්ත්වය රැකගෙන මේ වතු මේන්ටේන් කරන එක හොඳ කළමණාකාරීත්වයක් නැතුව කරන්න බෑ. ඒ නිසයි වතු එක එක කොටස් වලට බෙදලා තියෙන්නේ. මේ බණ්ඩාරඑළිය ඩිවිෂන් එක දඹේතැන්න වත්තේ ඒ කියන්නේ දඹේතැන්න ගෘප් එකේ කොටසක්. දඹේතැන්න ගෘප් එකේ අයිතිකා‍රයෝ තමයි ආගරපතන ප්ලාන්ටේෂන්. කළමනාකාරීත්වය කරන්නේ ලංකෙම්. (ගොවියාගේ.... හිතමිතුරා.. ලංකෙම්!) මතකනේ ... පොඩි ඇඩ් එකක්. :) ඌව දිස්ත්‍රික්කය කියලා ලියලා තියෙන්නේ පරණ ක්‍රමේට. මේක ඌව පළාත නේ.

මෙතන තවත් ලස්සන දෙයක් තිබුණා. ඒ තමයි වත්තේ මිනිස්සු වන්දනා කරන, බාර හාර වෙන, පඩුරු බඳින පුංචි දේවාලයක් හෝ ඒ ආසන්න තැනක්.  ටිකක් ජරාජීර්ණ වෙලා තිබුනට හොඳට සුද්ද පවිත්‍ර කරලා තිබ්බා. අපිටත් මදෑ. ගැහුවා පොටෝ කෑලි දෙකක්ම.


හරි. දැන් ඇති හිටියා. ආපහු යන්න පටන් ගමු. අපි ඉතුරු කිලෝමීටර් තුනත් යන්න පටන් ගත්තා. කොහේ යනවද? බලන්න දේවල් එමටයි. මේ වතුවල ආගම් බේදයක් නැති තරම්. හැම ආගමකම වගේ කට්ටිය ඉන්නවා. මෙන්න සාක්ෂි.


මෙච්චර වෙලා මෙච්චර දුරක් ඔයාලා එක්ක ආවට තාම මනුස්ස පුළුටක් වත් පෙන්නුවේ නෑනේ. මෙන්න එහෙනම් කිව්වත් වගේ ජීවිත කාලෙම තේගස් එක්ක ඔට්ටුවෙන අහිංසක මිනිස්සු. පොටෝ එකක් ගන්න බව තේරිලාද කොහෙද බොහොම ආදරණිය විදහට අපි දිහා බලාගෙනත් හිටියා


බයික් එකේ යන ගමන් පිටිපස්සේ සීට් එකේ ඉඳගෙන බ්ලොගී කරපු වැඩේ ඕක තමයි. ගැස්සෙන නිසා සමහර පොටෝ ටිකක් බොඳවෙලා වගේ ඇති. ඔන්න දැන් තව ටිකයි. කිලෝමීටර් 1.5යි. එතනත් ඉතිං තේ ලාංඡනේ තමා.

ඔය කිලෝමීටර් එකහමාරක කෑල්ලෙ කිසිම තැන්නක් නෑ. එක දිගට ම කන්ද. ඒ මදිවට වංගු. ඒ නිසා වෙලාවකට වම් පැත්තෙන් තද බෑවුම. අනිත් වෙලාවට දකුණු පැත්තෙන් තද බෑවුම. පරිස්සමට යන්නත් ඕන. පාරෙන් පැන්නොත් එහෙම තාමත් පෙරලෙනවා පහලට . ඔය වංගු සහිත කන්දේ යන එක හරිම අමාරු වැඩක්. පාරත් හදනවා. ගල්, පස්, කාණු හැම තැනම. වැස්ස නැති නිසා ලිස්සන්නේ නම් නෑ. ඒත් ගැස්සෙන එක තමයි අමාරු. අනික හාලි එච්චර උසත් නෑනේ. පොඩ්ඩ ඇත්තං යට වදින්න බලනවා. ඒ නිසා අපි ටිකක් මහන්සි ඇර ඇර තමයි ගියේ. ඔය අතරෙදි අපිට වත්තේ එස්.ඩී. මහත්තැන්වත් හම්බ වුනා. ඒ කියන්නේ වත්තේ දෙවැනියා. මැනේජර් ගාවට ඉන්න කෙනා. වත්තේ එස්.ඩී. කියන්නේ ඉංගිරිස් නමක් නෙමෙයි. ඉංගිරිසියෙන් කිව්වට දෙමළ නමක්ලු. “සින්න දොරේ” කියන එක තමයි ඔය එස්.ඩී. එතකොට මැනේජර් ඇවිල්ලා පෙරිය දොරේ. ඒවුනාට එයාට ඇබ්රිවේෂන්ස් නෑ ;)

මෙන්න අපි පොඩ්ඩකට නැවතිච්ච තැන.
කැමරාව ටයිමිං කරලා බයික් එක උඩ තියලා පොටෝ එකකුත් ගැහැව්වා. පේනවනේ මීදුම. අපිට පිටිපස්සේ ප්‍රපාතේ මොනා තියෙනවද කියලා වත්තේ මිනිස්සුයි දෙයියොයි තමයි දන්නේ. නැතුව බලන්න හැකියාවක් නෑ. ඒතරමට මීදුම. ගස්වල මුදුන් විතරයි පේන්නේ.


ඇති ඇති. මග වැඩිපුර විවේක ගත්තොත් හොඳම හරියේ ඉන්න තියෙන වෙලාව අඩු වෙනවා.
විනාඩි කිහිපයක් ගියා. ෆස්ට් එකේම උඩට ඇද්දා. ආයේ නැවැත්තුවේ නෑ.

දෙවියනි මෙවන් අරුමයක්. අපි ඉන්නේ දිව්‍යලෝකේද කියලා හිතුනා. වලාකුළු පාවෙන්නේ අපිට පහලින්. උස පයිනස් ගස් වල මුදුන් තියෙන්නේ අපිට පහලින්. ඉඳලා හිටලා කුරුල්ලෙක් දෙන්නෙක් අපිට උඩින් ගියාට අනිත් හැමදේම අපිට පහලින්. මීදුම් සළුව අපි වටේම එතිලා. සීතල, ඒකටම නොදෙවෙනි හුලඟ, වැස්සක් නැතත් ඇඟට දැනෙන සිසිල, සැහැල්ලු බව, පාවෙනවා වගේ දැනෙන එක, හැම ප්‍රෂ්නයක්ම අමතක වෙලා, කොටින්නම අපිට අපි කවුද කියලාත් අමතක වෙලා, පීඩනය අඩු නිදහස් වාත තටුටුව මැද්දෙන් ලොකු හුස්මක් ගන්න ගමන් තක්බීර්වෙලා වට පිට බල බල ඉන්න සිද්ද වෙන හැටි... දිව්‍යලෝකයක්ම තමයි මේක. මීට වඩා සිංහල මම ඉගෙන ගෙන නෑ මේ ගැන ඔබට පැහැදිලි කරන්න. මේක විඳින්නම ඕන අත්දැකීමක්. තේරුං කරන්න ගිහිල්ලා සුන්දරත්වේ හෑල්ලු කරන්න මට බෑ.

සුද්දගේ තේරීම හරි. මේ තමයි නියමම තැන. ලිප්ටන් මහත්තයාගේ තේරීම උපරිමයි. මේ තමයි ලිප්ටන් සීට්.

මොනා පෙන්නන්නද? කිසි දෙයක් හරියට පේන්නේ නෑ. මීදුම...


පේන දේකට කියල තියෙන්නේ බෝඩ් ලෑල්ල විතරයි. එතනින් එහා මීදුම කොයි වෙලේ හරි අයින් වෙනකල් ඉන්න වෙනවා ඔයාලට මෙතන සුන්දරත්වය පෙන්නන්න. නැත්තං ආපු එකෙනුත් පලක් නෑ.

ටික ටික ඒ හරියේ මීදුම අඩු වෙන්න වුනා. එතකොට තමයි අපි දැක්කේ ටිකට් කඩන මනුස්සයෙක් එතන ඉන්න බව. රුපියල් 50ක් දුන්නට පාඩු නෑ. ලෝකේ කොහේද රුපියල් පනහනකට මෙච්චර සුන්දරත්වයක් අත්විඳින්න දෙන්නේ. මම ටිකට් එක ගන්න අතරේ අංකල් එකක් පොඩි චැට් එකකුත් දැම්මා. බ්ලොගී ඒ අතරේ පොටෝ දෙක තුනක් ගැහුවා.


ඒ අංකල් අපිට වට පිටාවේ පේන දේවල් ගැනත් ගොඩක් දේ කියලා දුන්නා. දොලහට ඩියුටි ඕෆ් වෙන නිසා මනුස්සයා යන්න ගියාට මම උපරිම ප්‍රයෝජන අරගෙන හැම දේම අහගත්තා.

මෙතනට ලංකාවේ නොපෙනෙන කෙලවරක් නෑ. එක පැත්තකින් බදුල්ල බණ්ඩාරවෙල දියතලාව පැත්ත. ඊට එහායින් පස්සර යි නමුණුකුළ කඳු පන්තියයි. තවත් පැත්තකින් නුවරඑළිය, කොටින්ම කියනවා නම් නුවරඑළිය ටවුන් එක, රේස් කෝස් එක පවා පේනවා. අනිත් පැත්තෙන් වැල්ලවාය තණමල්විල ඇඹිලිපිටිය හරහා හම්බන්තොටට යනකම්ම පේනවා. චන්ද්‍රිකා වැව ගජරාමෙට පේනවා. උඩවලව අභය භූමිය තියෙන හරිය, එතනින් එහා ඈත කෙලවරේ ක්ෂිතිජය වෙනකං පේනවා. හම්බන්තොටින් එහා මුහුදත් පේනවා ඇති. ඒත් පැහැදිලි නෑ. ඇයි තව පැත්තකින් ලංතාවේ උසම කන්ද පිදුරුතලාගල, ශ්‍රීපාදය (සමනල කන්ද) මේ හැමදේම පේනවා. කඳු නිසා ඒ මායිමෙන් එහා නොපෙනෙන හන්දා මිසක මෙතනට නොපෙනෙන ඉමක් නෑ. ඒකයි මෙතනට පිල්කිංටන් පොයින්ට් එකක් කියන්නේ. එහෙම නැත්නම් විව් පොයින්ට් එකක් කියලත් කියනවා. එච්චරකට බලන්න දේවල් මෙතන තියනවා. ලංකාවේ සංචාරකයෝ එනවා අඩුයි මෙතනට. වැඩි හරියක් පිටරැටියෝ ඇවිත් මේ සුන්දරත්වය විඳගෙන යනවා.

මේ දැනුත් එක්කෙනෙක් ආවා. මගේ වයසේ වගේ සුද්දා බෝයි කෙනෙක්. තව අපේ උන් දෙන්නෙක් තමයි ගයිඩ් කරලා තියෙන්නේ. කොල්ලගේ කකුල් දෙකම අප්සට්. ඇවිදින්නෙත් හරිම අමුතුවට. ඩිෆරන්ට්ලි ඒබල්ඩ් පොරක්. මම කරේ මෙතනට ආපු  ගමන් මේ ලස්සන දැක්කගමන් හතර අතේ පොටෝ ගහපු එක. ඒත් ඒකොල්ලා කරේ අයිනේ කණුවක වාඩිවෙලා පොතක් කියවන්න ගත්ත එක :) සුද්දෝ ගන්නේ මාර ආතල්. අම්මපා අපිට එහෙම දෙයක් කරන්න හිතුනේ නෑනේ. පොර පොත කියවද්දී මායි බ්ලොගීයි පොර දිහා බලන් හිටියා. විනාඩි 15යි. පොර යන්න ගියා.

මෙන්න ටිකක් මීදුම අඩු වුනාම ලිප්ටන් සීට් එක පේන හැටි, ඊටත් ටිකක් උස අට්ටාලයක ඉඳලා. මේ අට්ටාලය ගැන පස්සේ කියන්නම්. ඉස්සෙල්ලා පිංතූර ටික බලලාම ඉමු.


ඔය සුදුපාට බැම්මකින් වට කරලා තියෙන හරිය තමයි ලිප්ටන් සීට් කියන්නේ. හොඳට බැලුවෙත් පළවැනි පිංතූරේ ටිකට් කඩපු අංකලුයි තව ත් කෙනෙකුයි ඉන්නවා පේනවා නේද? වම් පැත්තෙන් පහල තනිකර පාතාලේ. ඒ තියන්නේත් තේ වතු. දකුණු පැත්තේ එක දිගට තේ යාය. හැබැයි එච්චර පාතාලයක් නෑ. ඊට අමතරම මේක නියම හුලං කපොල්ලක්. සරුංගලයක් වුනත් යවතෑකි හම්බංතොට දිහාට. තව පිංතූර ගන්න දැම්ම විදිහක් නෑ. ඒ නිසා මීදුම අඩුවෙනකං මං මෙතන ඉතිහාසේ කෙටියෙන් කියන්නංකෝ. කට්ටිය එහෙනං හරිබරි ගැහිලා වාඩි වෙන්නකෝ ඔය කැරකෙන පුටුවේ ;)

මෙතන හරියටම කියනවා නම් මුහුදුමට්ටමේ ඉඳලා මීටර් එක්දාස් නමසිය හැත්තෑවක් (1970m) උසයි. ඒකයි මෙතනට අර කලින් කියපු හැමදේම බොහෝම ලස්සනට පේන්නේ. ඉතිහාසේ ගොඩනැගෙන්නේ මෙන්න මේ විදිහට. ස්කොට්ලන්ත ඉංග්‍රීසි ජාතික තෝමස් ජේ. ලිප්ටන් (Sir Thomas J. Lipton) කියන සුදු ජාතිකයා ඉතිහාසගත සංචාරයක් තේ ඉතිහාසපොතේ ලකුණු කරමින් ලංකාවට ආවේ තේ බිස්නස් එකට අතගහන්න. දන්නවනේ ඉතිං සුද්දෝමනේ මේවැයේ මුල් නිර්මාතෘවරු. එතුමා ඕස්ට්‍රේලියාව හරහා ලංකාවට ආවේ එක්දාස් අටසිය අනූවේ (1890). ඒ කියන්නේ වයස අවුරුදු හතලිහේදී. ඒ ආවට පස්සේ ඌව පලාත පැතතට යන්න තමයි එතුමට ඕන වුනේ. එතුමා ඌවට ආවෙත් මුළු ලෝකෙම දන්න ලස්සනම සුන්දරතම පාරක. ඒ තමයි නොයේක් ආකාරයේ දේශගුණික කලාප කිහිපයක්ම පසුකරමින් බදුල්ල වෙනකං දුවන උඩරට දුම්රිය මාර්ගය. උඩරට කෝච්චි පාර කොච්චර ලස්සනද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ ගැන අපි වෙනම චාරිකාවකින් කියන්නං දවසක.

කොච්චියෙන් ඌවට ආපු ලිප්ටන් මහත්තයා ඌවේ ස්වභාවසෞන්දර්යය දැකලා පරිසරයට වශී වුනා. ඌවේ ලස්සන බලන්න නම් බස් එකේ ඇවිත් වැඩක් නෑ. කෝච්චියේම එන්න ඕන. ඒකත් තැන තැන බැහැ බැහැ එන්න තියෙනවා නම් අගෙයි. ඉතිං මේ ලස්සන බල බල ආපු ගමනෙදි මේ ලස්සන කඳු පංති, මීදුම ගලපු කඳු මුදුන් එතුමට මේ කඳු යාය තමන්ගේ කරගන්න අනුබල දුන්නා. ඒ අනුව එතුමා එක පයින්ම දඹේතැන්න තමන්ගේ කරගත්තා. මිලදී ගත්තා. වැඩ පටන් ගත්තා. වත්තේ ඉතිහාසේ සඳහන් වෙන විදිහට දඹේතැන්න තේ ෆැක්ටරියේ කුළුදුල්ම තේ දල්ල ඇඹරලා තියෙන්නේති ලිප්ටන් මහත්තයා යටතේ.  සෙල්ලං නෑ, මේ ෆැක්ටේරිය තියෙන්නෙත් මුහුදු මට්ටමෙන් මීටර් එක්දාස් පන්සිය හැ‍ට හයක් උසින් :-0  අනිත් කාරනේ මේ ෆැක්ටේරිය තමයි ලෝකෙම ප්‍රසිද්ධ “උසස්ම තත්ත්වයේ ඌවේ පුංච් තේ කොලේ කළු තේ” (Uva high grown small leaf black tea of high quality) නිෂ්පාදකයා හැටියට. ලිප්ටන් මහත්තයා දස්සයා. එතුමගේ ගේම් එක තමයි මේතරං හොඳට නැගලා ගියේ. බලන්නකෝ එයාගේ පිංතූරයක්.


 කොහොමද? හැන්ඩියා නේද? නියම වැඩකාරයා. මුලු ලෝකෙම මෙතුමා‍ව ආමන්ත්‍රණයකරේ සර් ටී (Sir Tea) කියලා.

එතකොට මෙතන කොහොමද ලිප්ටන් සීට් වුනේ? මතකයිනේ මෙතන මුහුදු මට්ටමේ ඉඳන් මීටර් එක්දාස් නමසිය හැත්තෑවක් උසයි. අනික වතුයායේ හරි මැද වගේ. අනිත් ඔක්කොම මීට පහලින් තිබ්බේ. කන්දේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තේ ෆැක්ටරියට තේ දළු ගෙනියන එක සෙල්ලං වැඩක් නෙමෙයි. අද තරං හොඳ පාරවල් නෑ. දළු ටැක්ටර් නෑ. කන්දේ එක පැත්තක පල්ලමේ ඉඳන් උඩට ඇදපු කේබල් (කම්බි) වලින් තමයි දළු ගෝනි උ‍ ඩට ගෙනාවේ. ඊට පස්සේ ඒ වාගේම කම්බියකින් කන්දේ අනිත් පැත්තේ උසින් මීටර් හාරසීයක් විතර පල්ලමේ තියෙන ෆැක්ටරියට දළු ගෝනි ගෙනිච්චා. බලන්න කොච්චර සාර්ථක ක්‍රමයක්ද? ඒ මදිවට මෙතනට වතුයායේ හැම කොනක්ම හරියටම පේන නිසා වත්තේ පුරාජේරුව එක තැනකට වෙලා නරඹන්න අයිතිකාරයාට පුළුවන් වුනා. ලිප්ටන් මහත්තයත් ඔය වැඩේට පුරුදුවෙලා හිටියා. ඒ නිසයි මෙතනට ලිප්ටන් සීට් කියලා කියන්නේ. අපේ ලාංකිකයෝ වැඩිය නොදන්නවා වුනාට මෙතන ලොකප්‍රසිද්ධ විව් පොයින්ට් එකක්. දැනට මේ වතුයායේ වසරකට උසස්ම තත්ත්වයේ කළු තේ කිලෝ මිලියන 1.3 ක් පමණ නිපදවනවා. “බණ්ඩාරඑළිය” කියන වෙළඳ ලකුන යටතේ තමයි ඒක මාකට් කරන්නේ. අපි නොදන්නවා වුනාට එක්ස්පෝට් මාකට් එකේ මාර ඩිමාන්ඩ්. ආ... අනිත් එක. දැනට මේ වතු යාය කරන්නේ ලංකෙම් ලගේ තේ සහ රබර් වැවිලි සමාගම මගින්. (Lankem Tea and Rubber Plantations Ltd). ඔන්න ඕකයි ඉතිහාසය. හප්පේ මටත් සෑහෙන්න මහන්සියි. (තොරතුරු අර අංකල්ගෙන් සහ අහලපහල තිබ්බ දැන්වීම් වලින් සහ මං දැනං හිටපු දේවල් වලින්)

පෝස්ට් එකත් සෑහෙන්න දිගයි. අනේ මන්දා කියන්න ගියාම ඔක්කෝම කියන්නත් ඕන. කොහොම හරි අපේ කට්ටියව කවදාහරි මේවා බලන්න ගෙන්න ගන්න එපැයි. ;)

හරි... මීදුම ටිකක් අඩුයි... අපි යමු ටිකක් අට්ටාලේ පැත්තට. අට්ටාලේ? ඒ මොකද්ද?

ආ... එක තමයි නැරඹුම් මැදිරිය. හැමදේම හරිම ලස්සනට පේනවා...




ඔය පළවැනි පිංතූරේ තියෙන්නේ මං කිව්ව අට්ටාලය. ඒක තට්ටු දෙකයි. යට කොටසේ බංකු දෙකක් තියෙනවා. උඩ නං මුකුත් නැති එකම තමා හොඳ. ඒ අට්ටාලෙට ටිකක් පහලින් පොඩි මඩුවක් තියෙනවා වැස්සක් හෙම ආවොත් ගොඩ වෙන්න. එහෙනං නගිමු අට්ටාලෙට. නැග්ගා වගේ නෙමෙයි. ඕකෙන් බ්ලොගියව බස්සගන්න තිබ්බ අමාරුව ;)

මේ අට්ටාලේ උඩ... මාර හුලඟක් තියෙන්නේ. මේක හුලං කපොල්ලක්නේ...


ඒ බ්ලොගීනේ... මේ මම සහ අපි ;)



මෙතනට පේන දර්ශන ටික වචනයෙන් විස්තර කරන්න මට තේරෙන්නේ නෑ. ඒ තරම්ම ලස්සනයි. ඉස්තරම්. හැබැයි අපිට විනාඩි 45ක් විතර බලන් ඉන්න වුනා මීදුම අයින් වෙනකං. මීදුම එක්ක ගහපු පොටෝ දාලා වැඩක් නෑ. අපිව විතරයි පේන්නේ. පරිසරය සුදුපාට විතරයි. ඒනිසා මීදුම අයින් වෙනකං අපි ගෙනාපු කෑම වලින් සප්පායම් වුනා. මහ ලොකු දෙයක් නෑ. ඔය නිකං, ක්‍රීම් බනිස් ජෝඩුවයි, එග් බන් දෙකයි, සීනිසම්බල් බන් දෙකයි, රෝල් දෙකයි, සේවරි නට්ස් පැකට් එකයි, ඇපල් සෝඩා එකයි, වතුර එකයි විතරමයි :-0 ඔය වතුර එකත් අපේ මේ පලාතෙම හදන එකක්... ඕසෝන්... ආ... බ්ලොගී කියන්නම කිව්වා ඔය දකුණුපැත්තේ තියෙන සපතුතු දෙක ඔරිජිනල් කැන්වස් කියලා ;)


කෑම සුවඳටද මන්දා කොහේදෝ ඉඳන් ආපු කාක්කෙක් අපිට තර්ජනයක් වුනේ මේ වෙලාවෙදි. මූ යන්නෙම නෑ එලෙව්වට. පස්සේ අපි උගේත් පොටෝ කෑල්ලක් ගත්තා.

කාක්කා සහ ඇපල් සෝඩා නම් ඡායාරූපය තමයි මේක.


පොටෝ එක බ්ලොග් එකේ දායි කියලා දැන ගෙනද කොහේද ඌ එසැනින් යන්න ගියා.

ආ... දැන් නම් ටිකක් පැහැදිලියි... මෙන්න මේ අට්ටාලයට පේන දර්ශන...

මේ නායබැද්ද කන්දේ එක් කෙලවරක්. තනි ටවර් එකක්...


මේ එහිම අනික් කෙලවර. එතන ටවර් කිහිපයක්ම තියෙනවා...


ලාවට මීදුමත් ගලලා තියෙනවා. ඒත් පහල තේ යාය සෑහෙන්න ලස්සනට පේනවා...


හොඳට බැලුවොත් පෙනේවී. ලා නිල් පාටට පේන්නේ චන්ද්‍රිකා වැව.


අයිනට යන එක මට නං නිකං බයයි වගේ... ඒත් බ්ලොගියට එහෙම නෑ...


දැන් එක පැත්තක් සෑහෙන්න හොඳයි පැහැදිලියි.


හැබැයි එහේ බලලා මෙහේ බලන කො‍ට ආයෙම මීදුම එන්න පටන් අරන්

 මෙතනට වෙලා ටිකක් බලං හිටියනං ලංකාවේ කාළගුණ වාර්ථාව දෙන්න පුළුවන් තිතටම. කොහේටද වහින්නේ, කොහේටද පායන්නේ කියලා. මේ දැං අප් ඩේ‍ට් එකක් දුන්නොත්, මේ වෙලාව බණ්‍ඩාරවෙලින් එහා බදුල්ලට හොඳටෝම වහිනවා. ඒ වගේම හම්බන්තොටට පැලෙන්න පායනවා. නුවරඑළිය පැත්තට වැසේසේ නැතත් අහස වලාකුලින් බරයි. රාත්‍රී කාලයේ මඳ වැසි බලා පොරොත්තු විය හැකියි ;)

බලන් ඉන්දෙද්දී මීදුමෙන් පරිසරය වැහෙන හැටි හරි අපූරුයි. වට පිටාවේ පැනොරාමික් විව් එකකට අපේ සෙට් එක ආස වෙයි කියලා හිතලා පොඩි වීඩියෝ කෑල්ලකුත් ගත්ත. බලන්නකෝ රහද කියලා. හුළඟ වැඩි නිසා ඕඩියෝ ටිකක් නොයිස් වගේ ඇති. අනික ඉක්මනට බෆර් වෙන්න ඕන නිසා වීඩියෝ කොලිටි ඩ්‍රොප් කරලා බර අඩු කරා.



කතාවෙන් කතාව වෙලාවත් ගියා. දැන් ඉතින් පල්ලං බහිමු. පිටරත්මලේටයි, රිච්මන්ඩ් වැව ගාවට යන්නත් එපැයි. බ්ලොගීව මෙතනින් බස්ස ගන්න එකතමයි අමාරු.

අපිට අට්ටාලෙන් බැස්සා. බයික් එකේ ෆොටෝ වගයක් ගත්තා මීදුම එන්න කලිං. මෙන්න ආපහු එකපාරම එයා අපිව වහ ගත්තා. දැන්නං මෙතනිනුත් බ්ලොගීව ගන්න එක බොරු.


කලිං පෝස්ට් එක බලපු අයට මතකයි නේද මේ පිංතූරේ. ඔය මීදුම බාලා තියෙන ඉසව්වට, ඒ කියන්නේ පිටරත්මලේ පැත්තට තමයි දැන් අපි යන්න ඕන. හාලිව පෙන්නුවේ නැත්තම් එයාගෙ හිතටත් හරි නෑනේ . මෙච්චර උසකට අපි දෙන්නෙක්ව ගෙනාවනේ වාතයක් වෙන්නේ නැතුව.



ටික ටික පල්ලං බහිද්දී අපි දඹේතැන්න ෆැක්ටරිය ලඟට කිට්ටුවෙනවා. අර හොඳම කළු තේ හදන තැන. මෙන්න ලස්සන කියමනක් තිබ්බා. අපිට මේකට නිකම්ම කේ වත්තක් (එස්ටේට්) කිව්ව‍ට මෙයාලා මේකට කියන්නේ ගාර්ඩ්න් එකක් කියලා. බලන්න කොච්චර ලස්සනද ඒ වචනේ. මල් වත්තක් වගේ නේ මැවෙන්නේ. හැබැයි ඊටත් වඩා ලස්සනයි.


මෙන්න ලිප්ටන් මහත්තයාගේ ‍ෆැක්ටරිය.


හරි වැදගත් දෙයක් අපි මේ තේ වතු පුරාවටම දැක්කා. ඒත් දැනුයි මට ඒක දාන්න මතක් වුනේ. මේ බලන්න.


ඩිවිශන් ආපහු ෆීල්ඩ් වලට බෙදනවා. ඒ ඒ ෆීල්ඩ් එකේ ස්ටැටිස්ටික්ස් වෙන ‍වෙනම නෝටිස් කරලා තියෙනවා. විශාලත්වය, කාබන් අගය, අන්තිමට කප්පාදු කරපු කාලේ වගේ වැදගත් විස්තර. පොත් වල ලියලා තියා ගන්නවට වඩා මේක කොච්චර ලෙසිද?

ඔන්න අපි බොහෝම වේගෙන් පල්ලම් බැස්සා. පිටරත්මලේ ටත් ආවා. පිටරත්මලේ සෑහෙන්න කියෙනවා නමක් ගමක් නැති පුංචි පුංචි දිය ඇලි ගොඩක්. මේක එක විදිහක නිම්නයක්. බයික් එකේ නොයා පයින් මේ නිම්නයේ හරි මැද්දෙන් පහලට බැස්සොත් තව පුංචි දියඇලි ගොඩක් හම්බ වෙන බව මම අහලා තියෙනවා. මෙන්න පාර අයිනෙම තියෙන දිය කඩිති එකක් දෙකක්.


පිටරත්මලේ කියන්නේ එකම නිම්නයක්. ලිප්ටන් සීට් එකෙන් කෙලින්ම පහල ප්‍රපාතය. මතකයිනේ දැන් කිව්වා. මෙන්න ඒ වග උදාහණ සහිතව ඔප්පුකරා. බලන්න කොච්චර ලස්සනට මීදුම යට ඉඳන් උඩට ගලාගෙන එනවද...




මෙන්න මට අවස්ථාවක් හම්බවුනා. මං මුලින්ම කියපු කතාවක් සාක්ෂි සහතව ඔප්පු කරන්න තව අවස්ථාවක්. මං කිව්වා නේද ‍මීදුම් තුරුල්ලේ ඉපදිච්ච මේ වතු මිනිස්සු මරිලා යන්නෙත් මීදුම් තුරුල්ලේමයි කියලා. ඒ නිසයි උන් මේ පරිසරයට මෙච්චර ආදරේ කියලා. මේ බලන්න. මැරිච්ච මිනිස්සුන්ගේ සොහොන්. මිනිස්සු මරුණට, උන් රැක ගත්ත ලස්සන පරිසරේ මැද්දේ මීදුම් තුරුල්ලේ මේ සොහොන් කොත් තව කාලයක් අපූරුවට ජීවත් වෙනවා. ඒ ඒවා අයිති මිනිස්සු වෙනුවෙන්. මේ එකට එක පුංචි උදාහරණයක් විතරයි.


අපි ටිකෙන් ටික රිච්මන්ඩ් වැව ලඟටත් ආවා. සාපේක්ෂව මිනිස්සු ගහනය කන්ද උඩට වඩා ටිකක් වැඩි නිසාද දන්නේ නෑ වැව ටිකක් බොරපාට වෙලා වාගේ තිබ්බා. සමහර විට වැස්සට කඳු සෝදගෙන ඇවිත් වැටෙන්නේ වැවට නිසා වෙන්න ඇති. ඊයේ පෙරේද ටිකක් වැස්සත්නෙ. වැවේ පිංතූර ‍කිහිපයකුත් කැමරාව අස්සෙදී සීරෝස් ඇන්ඩ් වන්ස් වුනා. වැවේ විස්තරනම් වැඩිය දන්නේ නෑ. හැබැයි හදලා තියෙන්නේ 1885 බව දකින්න ලැබුණා. අපි පුරුද්දට වගේ හැමදාම බනින ‍සුද්දෙක් කරපු හොඳ වැඩක් වෙන්න ඇති මේ වැවත්.



හපොයි සෑහෙන්න වෙලාවක් ගත්තා. ඒත් වෙලාව යනවා අපිට දැනුනේ නෑ. පරිසරේ ලස්සන සුන්දරත්වය වෙලාව ගැන අපිට හිතන්න ඉඩදුන්නේ නෑ. ඒත අපි දැන් බණ්ඩාරවෙලින් කන්දේ මුදුනටම නැගලා ආපහු හපුතලේට පල්ලං බැහැලත් ඉවරයි.  කැමා ටිකක් සූම් කරාම අපි හිටපු උසම ඉසව්ව ලාවට අපැහැදිලිව පේනවා.

අපි දැං ඉන්න තැනත් මීදුම නිසා උඩ ඉඳං බලනකොට නොපෙනිච්ච එක පැත්තක් තමයි.

එහෙනං දෙසක් රියේ දෙවැනි චාරිකාවත් අහවරයි කියන්නයි ලෑස්තිය. කට්ටිය මොකද කියන්නේ? සෙට්වෙන්න නිවාඩුවක් දාලා හරි මේ පැත්තේ එමුද? ආ... තව එකක්.... දැනටම තව කට්ටියක් තුන් වැනි චාරිකාව‍ට එයාලත් සහභාගී වෙනවා කියලා අනතුරු අඟවලා තියෙන්නේ ;) . නං ගං පසුවට...  ඊලඟට යන්න දිහාවකුත් දැන්ම ප්ලෑන් කරන්න ඕන. හොඳ ඇඩ්වෙන්චර් ටුවර් එකක් නං වටිනවා... බලමු බලමු...

අන්තිමට එකක් කියන්න තියෙනවා පුරුදු විදිහටම. ඔයාලත් එන්න. යාළුවොන්ටත් මේවා බලන්න එන්න කියන්න. හැබැයි ලස්සන පරිසරය විතරක් මේ විදිහටම බේරලා තියලා යන්න කියන්න. බිංදුවක්වත් කිලුටු කරන්නේ නැතිව. ඒක තමයි මේ පරිසරයෙන්ම අපිට දෙන ඔවදන...


එහෙනං ළමයි අදට එපමණයි. මතු සම්බන්දයි. බ්ලොගියි මායි අපේ හාලිගේ පිටේ නැගිලා පැයට සැතපුම් 50කවත් වේගෙන් කොළඹ හයිවේ එකේ හපුතලේ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වෙන්නයි යන්නේ...

ආයුබෝං කිව්වා....

ග්ර්ර්ර්රම්  ග්ර්ර්ර්රම් ග්ර්ර්ර්රම් හම්ම්ම්ම්ම් හම්ම්ම්ම්ම් ග්ර්ම් හම්ම්ම්ම්ම් ග්ර්ම් හම්........

(ස්ක්‍රිප්ට් එක මගෙන්, ඡායාරූප බ්ලොගීගෙන් සහ මගෙන්)
තවදුරටත් කියවන්න [...]