Monday, January 31, 2011

ඇඩිෂම් මන්දීරය - කඳු මුදුනේ ප්‍රෞඩත්වය

ආයුබෝවන් කිව්වා කස්ටියට. කොහොමද සැප? සනීප?

ඔන්න අදත් දෙසක් රියේ චාරිකාවක් අරගෙන එන්නයි ලෑස්තිය. මේ ට්‍රිප් එකත් ටික දවසකට කලින් ගිය එකක් ඕන්. හරියටස කිව්වොත් ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2010 නොවැම්බර් 26 වෙනිදා. බ්ලොගීයි මායි ටිකක් හුරුපුරුදු දිහාවක යන්න ලෑස්ති වුනා. අපි එතැනට “කඳුමුදුනේ ප්‍රෞඩත්වය” කියලා ආමන්ත්‍රණය කෙරුවොත් වැරදි නෑ. ඒ තමයි ඇඩිෂම් මන්දීරය. හපුතලේ ටවුමට ලඟින් තියෙන බලන්නම වටින, ඒ වගේම සෑහෙන ‍ඓතිහාසික පසුබිමකුත් තියෙන තැනක් තමයි මේ. අපි ගිය චාරිකා කිහපයකම ශ්‍රී  ලංකාවේ තේ ගැන කතා කරන්න වුනා වගේම මේ පාරත් තේ සම්බන්ධ වුනු කතාවක් කියන්න වෙයි. වෙන මොනා කරන්නද? අපේ පැත්තේ වැඩි පුර තියෙන්නේ තේ නේ.

ටිකක් දවල් වෙලා තමයි මෙදා අපි ගමන යන්න පිටත් වුනේ. සුපුරුදු විදිහට බ්ලොගීලගේ ගෙදරින් ගමන ගටන් ගත්තා. අපි මෙදා පාර ගියේ අපේ අස්සයා පිටේ. ඒ කිව්වේ අපේ Honda Baja 250CC සගයත් එක්ක. බ්ලොගීයි මායි දෙන්නත් එක්ක අසසයා පිටේ නැගලා ගමන ආරම්භ කරේ බණ්ඩාරවෙල හපුතලේ උඩ පාර දිගේ. ඒ කියන්නේ, දියතලාව හරහා යන්නේ නැතුව. කෙලින්ම හපුතලේට. පාරත් ලේසියි. කාප‍ට් එකනේ.


අනික දියතලාව පැත්ත, කහගොල්ල ජල පෝෂක ප්‍රදේශය එහෙම හොඳට පේනවා ලස්සනට.



මං පාරේ එහාට මෙහාට පැන පැන ෆො‍ටෝ ගද්දී බ්ලොගීට නං ටිකක් තද වෙලයි හිටියේ. ඔය හිනා වෙලා හිටියට...

ඔන්න අපි හෙමින් සීරුවේ දැං හපුතලේට ලං වුනා. 99 පාරේ යනකොට තේ ෆැක්ටරි කිහිපයක්ම පේනවා. මේ ඒවායින් එකක්.


ඔන්න අපි හපුතලේ ටවුමට ගොඩ බැස්සා. දවල් අව්ව නිසා සීතල එච්චරම දැනුනේ නෑ. ඒ වෙලාවෙම සුදු අක්කි කෙනෙකුයි අයියා කෙනෙකුයිත් ටවුමට ඇවිත් හිටියා එඩිෂම් යන්න. බ්ලොගියා ටක් ගාලා සුදු අක්කිගේ ෆොටෝ එකක් ගත්තා.


හපුතලේ ටවුමත් හරි ලස්සනයි. ව‍ටපිටාව සෑහෙන්න පේනවා ඈතට. ඒත් ඉතිං ලංකාවේ කොහේ‍ ෆොටෝ එකක් ගත්තත් ලයිට් කනුවක් තියෙනවා නොවැ. එච්චරකට පිලිවෙලයි. මෙන්න උදාහරණ.


ඔතනින් ටිකක් අයිනට ගියාම අපිට හපුතලේ බෑවුමත් එක්ක හම්බන්තොට පැත්තට යනකම්ම පේනවා. කලින් පාර ලිප්ටන් සීට් ගියාමත් අපි දැක්කේ ඔය දර්ශණේම තමා.


දැන් ඔන්න අපි‍ට අතුරු පාරකට හැරෙන්න වෙලාව ඇවිල්ලා . හපුතලේ පොලීසිය පාර, එහෙම නැත්නම් වැලිම‍ඩ පාරට අපි හැරෙන්න ඕන. ඒ පාරේ ටික දුරක් යනකොට ජනප්‍රිය ඔලිම්පස් ප්ලාසා හොටෙල් එක එහෙමත් හම්බ වෙනවා.


අපිට තව කිලෝමීටර් කිහිපයක්ම මඳ බෑවුමේ උඩට යන්න තියෙනවා. පාර දෙපැත්තේ බලන්න දේවල් නම් එමටයි. ඒත් වෙලාව ඉතුරු කර ගන්නත් එපැයි. ඒ නිසා මං බ්ලොගී ට කිව්වා යන ගමන් පිංතූර ගමු කියලා නවත්තන්නේ නැතුව.


ඔන්න ටිකෙන් ටික අපි තවත් තුන් මං හන්දියකට එනවා. මතක තියා ගන්න මෙතනින් දකුණු පැත්තේ පාරේ තමා යන්න ඕන. මේ තමයි තංගමලේ ග්ලැනනනෝර් වත්තේ වෙහෙරගල ඩිවිෂන් එක. මේකත් වත්තත් ලංකෙම් ලගේ ආගරපතන ප්ලාන්ටේෂන් එකේම කොටහක් තමා.


එතනින් දකුණු පැත්තේ පාරේ අපි ටික දුරක් යනකොට, ඒ කියන්නේ වෙහෙරගල ඩිවිෂන් එක පහු කරලා අපි යන්නේ බ්ලැක් වූඩ් ඩිවිෂන් එක මැදින්.  පාරනම් ටිකක් පටුයි. බස් දෙකකට වගේ නම් මාරු වෙන්න ටිකක් අමාරුයි.


මේ හරියට හපුතලේ ස්ටේෂන් එකේ ඉඳන් එන රේල් පාරත් පේනවා. රේල් පාර පහලින් පේනකොටම පාර දෙකකට බෙදෙනවා. මතක ඇතුව උඩ පාරෙන් යන්න ඕන.

හපොයි!!! හරිම කලබගෑනියක් තමයි වුනේ. උඩ පාරේ බොහෝම ටික දුරයි අපිට යන්න වුනේ. මෙන්න එක සැනෙන් පාරට පැන්නා Air Force එකෙන්. ඒ කිව්වේ ගුවන් හමුදාවෙන්. පැනලා අපිව නැවැත්තුවා. අපිටත් කර කියා ගන්න දෙයක් නෑ. මෙන්න ඊට පස්සේ එයාලා බෑග් එකකින් අරගෙන පුංචි අත් බෝම්බයක් වගේ එකක් අපිට දික්කරා. හපොයි බය වෙච්ච තරං.

පස්සෙයි හරියට දැක්කේ. දික්කරලා තියෙන්නේ අත්බෝම්බයක් නෙමෙයි. පැෂන් ෆෘට් ගෙඩියක්.



පව් අහිංසක පොඩ්ඩෝ දෙන්නා. එඩිෂම් ගිහින් ආපහු එන ගමන් අනිවා පැෂන් ෆෘට් බෑග් එකම ගන්නවා කියලා ඒ අහිංසක ඇස් ඉස්සරහා පොරොන්දු වෙලා අපි ඉස්සරහට ගියා.

තංගමලේ කියන්නේ අභය භූමියක් නිසා අනතුරු ඇඟවන්නයි අවධාරණය කරන්නයි ගහපු පුවරු හැම තැනම. මේ හරියේ වෙඩි තැබීම අම්බානකුත් තව ටිකක් තහනම් හරිය...


මෙතනදී අපිට පේනවා කන්ද උඩට උඩට එක යාය‍ට වැවිච්ච සරු තේ ගස් වලා ලා කොල පාට දළු නෙලන තේ ලඳුන්. ඒක හරිම සුලභ දසුනක්. ඈතිං පුංචියට තිත් තිත් වගේ පේන්නේ තේ ලඳුන් තමා.


ජෛව විවිධත්වයෙන් උපරිම මේ තංගමලේ අභය භූමිය රැක ගන්න වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි, අලි පුංචා පදනමයි සෑහෙන්න වෙහෙසක් ගන්නේ. මේ බලන්න කියලා තියෙන කතාව.


“ඔබේ වාහනයට යටවී මිය යන්නේ ලොවටම සිටින අවසාන ජීවියා විය හැකියි. පරීක්ෂාකාරීව රියපදවා වනජීවී සංරක්ෂණයට දායක වෙමු.” බලන්න කොච්චර හදවතට වදින කියමන්ක. ඇත්තටම එහෙම වෙන්න බැරිද?

අපි මේ යන පාරේ දකින්න පුළුවන් තවත් විශේෂ දෙයක් තමයි, පාර දෙපැත්තේම පිරුණු රක්ෂිතේ දැවැන්ත ගස් වල උඩ හරියේ ඝනව වැඩුනු උඩු වියන. ඒ වගේ ම මීවණ ආදී ශාක විශේෂත් සෑහෙන්න දකින්න පුළුවන් මේ හරියේ.


හරි ඔන්න අපි ටිකෙන් ටික කතා කර කර ඇවිත් ඇඩිෂම් මන්දී‍රයේ ගේට්ටුව ලඟටම ආවා. ඇඩිෂම් මන්දීරය බලන්න ඇතුල් වෙන්න ගේට්ටුව ලඟ වාහන නතර කරන්න ඕන. ඒ වගේම ගේට්ටුවෙන් රුපියල් 50ක ටිකට් එකකුත් ගන්න වෙනවා. අනිත් විශේෂ කාරණේ තමා මේ ක තාපසාරාමයක් එහෙම නැත්තං භාවනා මධ්‍යස්ථානයක්, ඒ නිසා හැමදාම එඩිෂම් බලන්න එන්න අවසර නෑ. සෙනසුරාදා, ඉරිදා ඒ වගේම පෝය දවස් වල විතරයි බලන්න අවසර තියෙන්නේ.


ඔන්න අපි බයික් එක පැත්තකින් නවත්තලා ටිකට් අරන් ඇඩිෂම් මන්දීරය‍ට ඇතුල් වුනා. මෙතනින් එහාට තනිකරම තියෙන්නේ දිව්‍යලෝකයක්. විස්තර ගොඩයි කියන්න.


අර ඈතින්, පාර දෙපැත්තම මලින් බරවුනු පාර කෙලවර, අපට පේ‍න්නේ, කඳුමුදුනේ මීදුම් තුරුල්ලේ අභීමානවත්ව වැජඹෙන බ්‍රිතාන්‍ය මන්දිරේකට සමව පුංචි එංගලන්තයක් වගේ පේන එඩිෂම් මන්දීරයයි.


මෙතනින් එහාට කියන්න කතා ගොඩයි. නොකියාත් බෑ ඒවා. එච්චරකට වටිනවා. බෝරිං වෙයිද දන්නෙත් නෑ. ඒ නිසා කතාව කියන අතරේ, අතරිං පතර (සමහරවිට කතාවට අදාල නැති) පිංතූරයක් දෙකක් පෙන්නන්නං කැප්ෂන්  එකකුත් එක්ක. එතකොට ෂේප්නේ.

දැනට ටික කාලෙකට කලින් මන්දිරය ඇතුලේ ඒ ගැන විස්තර කියන්න කෙනෙක් හිටියා. දැන් එයා නෑ. එ වෙනුවට එතනට IT ඉන්ටර්ග්‍රේට් කරලා. වීඩියෝ එකක් පෙන්නනවා විස්තරේත් එක්ක. ඉතිං ඒකේම සංෂිප්ත වාර්තාවක් තමා මං ගේන්න යන්නේ. ඒ අතරින් පොටෝත් එනවා හරිය... එහෙනං හරි බරි ගැහිලා වාඩි වෙන්නකෝ එහෙනං. මං ටාර් ගාලා වතුර උගුරක් බොනකං. :-)



රයිට්... ඔන්න එහෙනං කතාව පටන් ගත්තා. කට්ටිය හූමිටි තියන්න ඕන හරිය...
ඇඩිෂම් මන්දීරය කියන්නේ තාපසාරාමයක්. මේක නම් කරලා තියෙන්නේ ශුද්ධ වූ බෙනඩික් තුමන්ගේ නමින්.

කවුද එතකොට මන්දීරය හැදුවේ?

අන්න හරි ප්‍රශ්ණ තියෙනවා නං අහන්න ඕන ඒවගේ.

මේ මන්දිරයේ කතාව පිටිපස්සේ ඉන්න නිර්මාණකරුවා තමයි සර් තෝමස් විස්ටර් විලියර්ස්. අපි‍ට මීට කලින් චාරිකාවෙදී හම්බ වුනු ලිප්ටන් තේ නිර්මාතෘ වරයා වුනු සර් තෝමස් ජේ. ලිප්ටන් වගේම මෙතුමත් සර් කෙනෙක්. ඉපදුනෙත් එන්ගලන්තේම තමයි.

මන්දිරය ඉදිරියේ ඇති ශුද්ධ වූ බෙනඩික් තුමන්ගේ ප්‍රථිමාවක්

අපි මේ කතාකරන සර් විලර්ස් එංගලන්තේ කෙන්ට් ප්‍රාන්තයේ ඇඩිෂම් කියන ගමේ තමයි ඉපදිලා තියෙන්නේ. ඒ 1869 වැනි අවුරුද්ද. හෙන්රි මොන්ටගේ විලියර්ස් කියන දේවගැතිවරයා ටයි ලේඩි වික්ටෝරියා රසල් ටයි දාව ඉපදුණු පුතා තමයි සර් විලර්ස්.

God does not ask for our ability or inability, but our availability.

ඔන්න ඊට පස්සේ මෙයා ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ අධ්‍යාපනයත් අහවර කරාට පස්සේ සර් විලියර්ස් වතු පරිපාලනය තමන්ගේ වෘත්තීය විදිහට තෝරගත්තා. අන්න ඒ අනුව තමයි සර් විලියර්ස්, අතේ පවුම් 10ක සොච්චමක් විතරක් තියාගෙන1887 දී ලංකාව‍ට එන්නේ. ඒ ඇවිත් බොගවන්තලාව ඇල්බැද්ද වතුයායේ තමයි වැඩ පටන් ගන්නේ. ඔය අතරෙදී එවකට වැවිලිකරුවකු වූ ඩබ්.එච්. වොකර් මහත්තයාගේ දෝණි එමලින් එක්ක ත්‍රිත්ව දෙව් මැදුරෙදි විවාහ වුනා.

A living Christ is a living man in a living sermon

සර් විලර්ස්ට පුතාලා දෙන්නෙක් ලැබුනා. එක්කෙනෙක් හෙන්රි විස්ටර් විලියර්ස්. 1897 දී ඉපදුනු හෙන්රි පස්සේ කාලෙක එන්ගලන්තේ රාජකීය හමුදාවටත් බැඳුනා. ලුතිනන් කෙනෙකුත් වුනා. හැබැයි පළවෙනි ලෝක යුද්ධ කාලේ එයාගේ ජීවිතෙත් අහිමි වුනා. 1902 අවුරුද්දේ ඉපදුණු තෝමස් හයිඩ් විලියර්ස් තමා සර් විලියර්ස් ගේ දෙවැනි පුතා වුනේ. එයත් පස්සේ කාලෙක හමුදාවටම බැඳුනා.

මන්දිරයේ ඇතුලු සාලයේ එල්ලා ඇති සර් විලියර්ස්ගේ නෑ දෑයින්ගේ ඡායාරූප


කොහොම හරි විවාහ වෙලා ටික කාලෙකින් සර් විලියර්ස් ට බ්‍රසීලයට යන්න වුනා. ඒ කෝපි වත්තක් බලා කියා ගන්න හැබැයි. හැබැයි සර් විලියර්ස් ට බ්‍රසීලයට වඩා ලංකාවට හිත ගිහින් තිබ්බ නිසාද කොහෙද මාස හතරකින් ආපහු හැරිලා ලංකාවටම ආවා.

මන්දිරය තුල තබා ඇති නැංගුරමක අනුරුවක්

ඒ ආවට පස්සේ තමා සර් විලියර්ස් ට හරියන්න පටන් ගත්තේ. එයාගේ සහොදරයා ගොඩ්ෆ්‍රි එක්ක හවුලේ "දික් ඔය" වතු යාය සල්ලිවල‍ට ගත්තා.  ඒ 1900 දී. අන්න එතෙන්දී තමයි සර් විලියර්ස් නියම වතු හිමි වැවිලිකරුවකු වුනේ. ඒ වගේම සර් විලියර්ස් සාමදාන විනිශ්චයකාරයෙකුත් වුනා. 1905 අවුරුද්දේ සර් විලියර්ස් ප්‍රසිද්ධ ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමට බැ‍ඳෙනවා. අවුරුද්දකින් ඒකේ ප්‍රධාන කොටස් කරුවෙක් වෙනවා මදිවට ටික කලෙකින් සභාපති කමටත් එනවා.

මන්දීරය ඉදිරිපස තණ පිට්ටනිය

සර් විලියර්ස්ට පොලිටිකල් බැක්ග්‍රවුන්ඩ් එකකුත් තිබ්බා.  1907 ඉඳන් 1920 දක්වාම කොලඹ මහනගර සභාවේ සමාජිකත්වය දරුවා. ඒ වගේම පලවෙනි ව්‍යවස්ථාදායක කවුන්සිලේ යි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ යි සාමාජිකත්වය ත් දැරුවා. එහෙම බැලුවොත් මෙතුමා කරපු වැඩ ගොඩයි. යුරෝපෙන් ඇවිල්ලා මෙහේ පදිංචි වෙලා ඉන්න යුරෝපීයයන්ට එයාලගේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කරන්න යුරෝපියන් ඇසෝසියේෂන් එකකුත් පිහිටුවලා ඒකේ සභාපතිත් වුනා.

ප්‍රදර්ශණයට තබා ඇති පැරණි රේඩියෝ යන්ත්‍රයක්

කවුන්සිලේ ඉන්න කාලේ ගමේ මින්ස්සු වෙනුවෙනුත් ලෙකු වැඩ කොටසක් කරා. ගම්දනව් වල පැතිරිලා තිබ්බ මන්දපෝෂණේ තුරන් කරන්න, ගමේ බිත්තර කිරි එළවලු සම්පූර්ණයෙන් ම රජයෙන්ම මීලදී ගැනිමට විරුද්ධවුනා. ඒ පෝශණය ගමේ මිනිස්සුන්ට ඕන බව කිව්වා. කම්කරු අයිතීන් ගැන කතා කරන්නත්, බාලවයස් කාරයන් මෙහෙකාරකම්වලින් මුදවා ගන්නත් නිතර කතා කරපු සර් විලියර්ස් සෑම ලමයෙකුටම අධ්‍යාපනය ලබාදීම රජයේ වගකීමක් කියලත් මතක් කරලා දුන්නා.

මලින් පිරීගිය පිවිසුම් මාවත


මමත් හාංකවිසියක් වත් නොහිතපු කතාවක් මට දැනගන්න ලැබුනා. ලංකාවේ පලවෙනි නේවාසික විශ්වවිද්‍යාලය පටන් ගන්නේ කොලඹද නැත්තං මහනුවරද කියලා කවුන්සිලේ කතාවක් තිබුනලු. ඒ වෙලාවේ සර් විලියර්ස් මැදිහත් වෙලා පේරාදෙණිය වතුයාය සුදුසුයි කියලා යෝජනා කරලා පේරාදෙණිය විශ්වවිද්‍යාලය පටන් ගන්නත් දායක වුනාලු.

මන්දිරය තුල ඇති ඉතා කුඩා ජනේල

ලංකාවේ ඇංග්ලිකානු සභාවේ භාරකාරත්වයත් කරගෙන ගිය සර් විලියර්ස් පොත් තුනකුත් ලිව්වා කියලා තමයි කියවෙන්නේ. කොහොමහරි තරුණයෙක් විදිහට ලංකාවට ආපු සර් විලියර්ස් වයස 82දී ආපහු එංගලන්තයට යනවා. ගිහිල්ලා එහේදී ආපහු විවාහ වෙනවා. ඒ කලින් සර් විලියර්ස්ගේ ලේකම් වෙලා හිටපු මාජරී කේට් කියලා කෙනෙක් එක්ක.

මන්දිරය වෙනත් පසෙකින් පෙනෙන හැටි


හැබැයි ගියා කියලා නෑ ඒරොප්පේ හිටං නුත් සර් විලියර්ස් ලංකාවේ වැවිලි කර්මාන්තය ගැන හෙව්වා. කොටින්ම වතු කම්කරුවන්ට සතිය ගානේ වැටුප් දෙන්න ඕන කියලත් එහේ ඉඳන්ම කියලා තියෙනවා. ලංකාවේ වැවිලි කර්මාන්තය‍ට වගේම සමාජයටත් සෑහෙන්න සේවයක් කරපු සර් විලියර්ස් 1959 දෙසැම්බර් 21 වෙනිදා මේ ලෝකෙන්  සමුගත්තා. විලියර්ස් ආර්යාව 1964 දී සමුගත්තා. හැබැයි ඒ දෙන්නගේ මතකයන් හැමදාමත් අපිලඟ ඉතිරි කරලා යන්න සර් විලියර්ස් අමතක කරේ නෑ. ඒ තමයි සර් විලියර්ස්ගේ සිහින මාලිගාව හෙවත් ඇඩිෂම් මන්දීරය.

එක් පසෙක ප්‍රථිසංස්කර්ණ කටයුතු කෙරෙමින් පවතී
සර් විලියර්ස්ගේ කතාව ඉවරයි. දැන් කියන්න යන්නේ ඇඩිෂම් මන්දීරයේ කතාව.

කෝ කෝ නිදාගෙන් ඉන්න ලමයි නැගිටින්න. මෙහෙමත් පුළුවන්ද කතා අහන්න. දැන් එන්න යන්නේ කතාවේ හොඳම කෑල්ල. නිදිමත හැදීගෙන එනකොට ටිකක් හයියෙන් දිව හපාගන්න. එතකොට හරි. ඔන්න එහෙනං ඉතුරු කොටස.


මන්දිරයේ ඉදිරිපස
සර් විලියර්ස් ගේ සිහින මාලිගාව හදන්න එතුමා තෝරගත්තේ මුහුදු මට්ටමේ ඉඳන් අඩි 5000කටත් වඩා උස හපුතලේ තංගමගේ ප්‍රදේශය තමා, ඒ සර් විලියර්ස් ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපති කාලේ.  තංගමලේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිසංකලංක කඳු වැටියක්. කොයිවෙලෙත් මීදුමෙන් බර වෙලා තියෙන්නේ. අක්කර 10ක් විතර වෙන මේ ඇඩිෂම් වත්තට පිදුරුතලා ගල කන්ද, නමුණුකුල කන්ද, තොටුපල කන්ද වගේම තවත් කඳු පංති කිහිපයක්ම පේනවා හොඳ පැහැදිලි දවස් වලට.

මධ්‍යම කඳුකරය දෙසට දිස්වීම
1929 දී අත්තිවාරම දාලා ටියුඩර් ක්‍රමේට මේ මේ සු‍ඛෝපභොගී මාලිගාව සර් විලියර්ස් හැදුවේ පුංචංකාලේ තමන් ජීවත් වුනු ගමේ මන්දිරය මතක් වෙන්න ඒ පෙනුමටම. මන්දිරයේ වහලය හදපු බුරුම තේක්ක වලින්ම තමයි, ජනෙල් දොරවල් ඒ එක්කම පියගැට පෙළ හැදුවෙත්. ඉන්දියාවෙන් පෙදරේරුවන් ගෙන්නලා හදපු මේ මන්දිරයේ බ්ලූ රූම් කියන එක තමයි සර් විලියර්ස් ගේ කාමරේ. ඒත් එක බලන්න දෙන්නේ නෑ දැන්. කාමරේ ඇඳ මේස පුටු වගේ ගෘහ භාණ්ඩ තාමත් ආරක්ෂා වෙලා තියෙනවාලු ඒ විදිහටම.

බුරුම තේක්ක දොර


කුඩා ජනේල
තවත් විශේෂ ලක්ෂණයක් තමයි සිවිලිමේ තියෙන කැටයම්. ඒවා වික්ටෝරියානු යුගයේ කලා ආභාෂය ලැබිලා නිර්මාණය වුනු බවට තමයි සැලකෙන්නේ. විලියර්ස් ආර්යාව ඇඳල අත්සන් යොදපු චිත්‍ර බොහෝමක් මන්දිරයේ පහත මා‍ලයේ නරඹන්නන් සඳහා විවෘත සාලයේ පේන්න තියෙනවා. විලියර්ස් ආර්යාව හොඳ චිත්‍ර ශිල්පිණියක්ලු.

සිවිලිමේ කැටයම්

ඒ වගේම ප්‍රකට චිත්‍රශිල්පියෙක් වුන ඩේවිඩ් පේන්ටර් (David Paynter) විසින් ඇඳපු සර් තෝමස් විලියර්ස්ගේ විශාල උඩුකය පිංතූරෙකුත් සාලේ තියෙනවා. සාලේ වටේට ලණු වැටක් දාලා ඊට එපිට්න් තමා නරඹන්නන්ට ඇවිදින්න දෙන්නේ. මට මතකයි පොඩි කාලේ මෙහේ ආපු දවසක කවුරුහරි අපිව ට කිව්වා මේ සර් විලියර්ස්ගේ පිංතූරේ කොච්චර තාත්ත්විකද කියනවා නම් කාමරේ වටේ කොතන ඉඳන් බැලුවත් සර් විලියර්ස් අපි දිහාම බලන් ඉන්න බව තමා පේන්නේ කියලා. ඒත් පස්සේ කාලෙක තේරුණා කොයි ඡායාරූපයත් ඒ වගේමනේ කියලා. ඒත් ඉතිං මේක චිත්‍රයක්නේ. අනේ මන්දා.

සර් විලියර්ස් ගේ සේයාරුව

සර් විලියර්ස් සෑහෙන්න පොත් කියවලා තියෙනවා. වටිනා කියන පොත් ගොඩක් තියෙන ලොකු පුස්තකාලයකුත් මෙහේ තියෙනවා. සර් විලියර්ස් හම්බ කරපු සල්ලි දමාපු ගලෙන් හදපු දොරක් තියෙන සේප්පුවනම් බලන්න දෙන්නේ නෑ.

පුස්ථකාලයෙන් කොටසක්

ඒ ව‍ගේද සාලේ තියෙන විශාල ගිණි උඳුන. වහලේ හයි කරලා තියෙන ටර්බයින (ඉලෙක්ට්‍රික් නෙමෙයි හො‍ඳේ) වලින් ඇදලා ගන්න කඳුකරයේ සීතල හුලඟ මේ ගිණි උඳුන හරහා උණුසුම් කරලා කාමරේට මුදා හරිනවා. බලන්න නිර්මාණකරුවා කොච්චර කල්පනා කරලා තියනවාද කියලා. වහලේ උඩ තියෙන කොයි වෙලෙත් හුලඟට කැ‍රකෙන ඒ ටර්බයින මන්දිරයට ගේන්නේ හරිම ගුප්ත පෙනුමක්.

සුලං ටර්බයින

පැරණි වුනත් තාක්ෂණය පැත්තෙන් මේ මන්දිරය උපරිමයි. කඳුමුදුනෙන් ඔහේ ගලා ගෙන එන වතුර ටිකක්, එකම විදුලි මෝටරයක් වත් පාවිච්චි කරන්නේ නැතුව, මුලු මන්දිරේ පුරාවටම නල මාර්ග වලින් බෙදලා දීලා තියෙනවා. හිතන්නත් අමාරුයි ඒ කොහොමද කියලා. මෙච්චර මහන්සි වෙලා හදපු මංදීරේට සර් විලියර්ස් තමන්ගේ ආර්යාව එක්ක ආවේ 1931 දී.

1931 සර් විලියර්ස් ගේ සිහින මන්දිරය සැබෑවක් වෙයි


මන්දිරය විතරක්ද? මල් උයන, පලතුරු වත්ත. මේ ඔක්කෝම මන්දිරේට අයිති දේවල්. පාට පාට නොයෙක් ජාතිවල මල් ඇඩිෂම් මන්දීරයේ මිදුල සරසනවා. රෝසම ප්‍රභේද කිහිපයක් තියෙනවා.

මල් පාත්ති අතුරින් ඇස ගිය එක තැනක්


ඇයි පළතුරු? වත්තේම හැදෙන ස්ට්‍රෝබෙරි වාගේ පළතුරු වලින් නොයෙක් කෝඩියල් වර්ග ජෑම් වර්ග හදලා නරඹන්නන්ට අලෙවි කරන අලෙවි සැලකුත් මෙහේ තියෙනවා. හාවෝ ඌරෝ වගේ සත්තු ඉන්න පොඩි ගොවිපලකුත් තියෙනවා. එහෙම බැළුවම ඇඩිෂම් මන්දීරය එතරම්ම ස්වයංපෝෂිත අඩිවයක්.

ඇඩිෂම් නිශ්පාදන අලෙවිසැල

දැන් මේ මන්දිරය බලා කියා ගන්නේ බෙනඩිකානු නිකායේ තාපස වරුන් විසින්. සර් විලියර්ස් ගෙන් පස්සේ මන්දිරය හිමිවුනු විමලා ජයවර්ධන කියලා කෙනෙක් 1961 දී මන්දිරය බෙනඩිකානු තාපස නිකායට විකුණලා තියෙනවා.

දැනට මෙහේ නිවාඩු නිකේතනයකුත් තියෙනවා. කදුකරේ මීදුම් සිසිලසේ නිස්කලංකේ ටික දවසක් ගතකරන්න අවශ්‍ය කෙනෙකුට මෙහේ එන්න පුළුවන්. ඒත් ඉතිං ඕනවට වඩා ජොලි කරන්න බෑ. මොකද මේක තාපසාරාමයක්. තාපසවරුන්ට බාධාවක් නොවෙන විදිහට ඉන්න තමයි කවුරුත් වගබලා ගන්න ඕන.

කොටින්ම කියනවනම් මේ පරිසරයේ ඉඳිද්දී මට නං හැ‍ඟෙන්නේ රොබින් හුඩ් හිටපු ෂර්වුඩ් වනය මැද්දෙන් ෂෙරිෆ්ගේ මන්දීරයට ගියා වගේ හැඟීමක්. පරිසරය දැක්කම කාට වුනත් එහෙම හිතෙන එක වලක්වන්න බෑ.

 මෙතන ඉඳලා බැලුවම වටපිටාව කොයිවගේද කියලා පෙන්නන්න බර අඩු කරපු පුංචි වීඩියෝ එකක්.



සොරි වෙන්ඩ ඕන නංගි කෙනෙක් අහුවුනා වීඩියෝ එක මැද්දට :-)

කතාව ඉවරයි. කෝ ළමයි තාම නිදිද? ;-)

එහෙනං අදට අපේ චාරිකාවත් ඉවරයි. ගොඩාක් කතන්දර තියෙනවා කියන්න. ඒත් වැඩිය රබර් කරන්නත් බෑ. හැබැයි ඕනම කෑලි මගඅරින්නත් බෑ. කතාව දිග වැඩි වුනානම් සොරි ඈ.... ;-)

එහෙනං ඔයාලත් වෙලාවක් තියෙන විටක මේ පැත්තේ එන්න. මේ ලස්සන සුන්දරත්වය නොබලන ඇස් මොකටද? හැබැයි මල්, පලතුරු කැඩීම සපුරා තහනම් හරිය....

මේවා ඔට්ටු නෑ


එහෙනං ආපහු යන්න හැරෙමු. කෝ අපේ බයික් එක... ආ අර තියෙන්නේ ගේට්ටුව ගාව.
මේන් මෙයාලා දෙන්නා තමා මෙදා පාර Honda Baja 250 CC අස්සයා පිටේ ෂර්වුඩ් වනය මැද්දෙං චාරිකාව ගියේ.

වමේ මම, දකුණේ බ්ලොගී


එහෙනං ආපහු චාරිකාවකින් හමුවෙනකං ගිහිං එන්නං හො‍ඳේ...

 ආ මේ ඡායාරූප බාගයක් මගෙන් බාගයක් බ්ලොගීගෙන් හො‍ඳේ...

එහෙනං ජය වේවා...!!!

ග්ර්ර්ර්රම්  ග්ර්ර්ර්රම් ග්ර්ර්ර්රම් හම්ම්ම්ම්ම් හම්ම්ම්ම්ම් ග්ර්ම් හම්ම්ම්ම්ම් ග්ර්ම් හම්........

25 comments:

පැන්da said...

අඩේ මාත් ගියා නෙ පැන්ඩි එක්ක..මන්දිරෙට හැරෙන තැන බස් එකෙන් බැහැල තේ වතු කැලේ මැද්දෙන් පයින් යනකොට තමා ආතල් එක..මම අද නෙ වන්නි ගෙ මේ බ්ලොග් එක ගැන දන්නෙ.

Pirate Bunny said...

නියමයි නියමයි.. මාත් හෙන පොඩ්‍ඩා කාලේ ගියා නෙවැ ඕක බලන්න..එතන උන්න මාමා කෙනෙක්ට වැදලා වැදලා ඇතුල බංගලාව ඇතුල බලන්න වරමක් ලබා ගත්තා.. පොස්ට් එක සම්පුර්ණයෙන් කියෙව්වේ නැ.. මට කම්මැලියි :D

h said...

හෙ හෙ.. මොනව කියන්නද? නියමයි තමයි... ගියා වගේ තියෙනවා... මම තාම ඕකට ගිහින් නෑ... වතාවක් අපි හෝර්ටන් ගියා ෆැමිලි ට්‍රිපක්. වාහනේ අයියට ගමන ගැන කියද්දි අවුලක් වෙලා පොර නැවැත්තුවෙ එඩිෂම් වල. පස්සෙ ඒකත් බලලම යමු කියලා සෙට් වුණත් එදා ඒක ජහමනයාට වහලා. ආයෙම දවසක් යාළුවො සෙට් එකක් එක්ක ඉදල්ගස්හින්නෙ තව යාළුවෙක්ගෙ ගෙදර ගිය දවසක කන්ද පාමුල පාරෙ එද්දි වාහනේ හිටපු උන් කන්ද උඩ ලයිට් පත්තු වෙනව පෙන්නුවා 'ඕං එඩිසන්' කියලා...

මොනව වුණත් දැන් මට නොගියත් කමක් නෑ වගේ...

අර පින්තූරෙ අපි දිහා බලං ඉන්න කේස් එක මොනාලිසා ආන්ටිගෙ පින්තූරෙත් එහෙමයිනේ. ඕකෙ කේස් එක ‍ෆොටෝ එකක්නං ගහන්න පුළුවන් වුණාට එහෙම පේන්න අඳින එක ටිකක් ගේමක් වෙන එකයි. චිත්‍ර සිල්පියෙක් වුණත් වැඩ නොදන්න පොරකට ඒක කරන්න බෑ...

චමිදේවා said...

මුන් එක්ක බෑ අප්පා... දැන්නම් මටත් බයික් කට්ටක් අරන් හිතුන හිතුන තැන ඇවිදින්න ආසාවක් ඇවිල්ලා තියෙන්නේ...:D

h කිව්වා වාගේ දැන්නම් මෙතෙන්ට නොගියත් කමක් නෑ නේන්නම්...:D

Sujeewa Kokawala said...

අපිත් ගියා මචෝ වතාවක්. 100% සතුටින් නෙවේ ආවේ. ඕක ලස්සන තැනක්. හැබැයි ඉන්න ෆාදර් ලා ඕක බලන්න දෙන්නේ නැහැ. ටිකටුත් කඩලා ඇතුලට අරන් ඔකේ පට්ටන්දරේ කියෙව්වට ඇතුලට යාම තහනම්. ඉතින් අපි කිව්වා අපිට බලන්න දෙන්න කියලා. පොරවල් කියාපි මේක තාපසාරාමයක් බලන්න දෙන්න බැහැ කියලා. ඉතින් අපි ඇහුවා අහවල් රෙද්දටද තාපසාරාමෙට ටිකටුත් කඩලා අපිව ගත්තේ. එහෙම තියෙන්න ඕනා නම් මිනිසුන්ට එන්න එපා කියන්න කියලා. ආගමික නායකයින්ගේ පුසුරුදු පණ්ඩිත ටෝක් දුන්නා අපට.

ඉතින් ඔය ටික හැමෝටම වුනාද නැත්නම් අපේ දවසේ මහා පඬිරුවනක් හිටියද මං දන්නේ නැහැ. මේ ගැන අසා ඇතුවාට වඩා දුටු දෙය නම්නැහැ.

අපි හපුතලෙන් බලන කොට නම් ක්ෂිත්ජය ලඟින් රිදී පාට ඉරක් තිබ්බා එක තමයි අර දවසට නැව් හැත්තෑවක් යන හම්බන්තොට මුහුද. ඒක හැමදාම නැහැ ඉතින්. වන් ලකී ඩේ තමයි.

පරිස්සමින් පලයන්. තව ලස්සන තැන් බලන්නත් අපට කියන්නත් ජෝඩුවට ඉඩහසර ලැබේවා.

Sujeewa Kokawala said...

පහලට බැහැලා උඩ වලවේ බැම්ම උඩට සෙට් වුනොත් රෑට ඔය ටවුමේ ලයිට් පේනවා. ඒකත් පට්ට දර්ශනයක්. සමහරවිට ගිහින් ඇති නෙ.

සෝරෝ said...

උඹ නම් මාර ලකී පොරක් සාංකුවෝ.. හිතුනා ගියා.. අපිට එහෙම බෑ නේ..

මමත් දැන්ට අවුරුදු දෙක තුනකට කලින් ගියා මේක බලන්න.. ෂැක්.. කියලා වැඩක් නෑ.. එළකිරි පොට් එක.. ඒ දවස්වල නම් එක්කෙනෙක් ඉදන් විස්කරේකියලා දුන්නා වීඩියෝ එකක් පෙන්නුවේ නෑ..

ඔය තේ වත්ත මැදින් යන පාර අතරමගදී මරු සීන් එකක් වුනා අපිට.. හෙහ් හෙහ්.. මතක් වෙනකොටත් ආසයි මේ පලාත නම්...

ස්තූති වේවා මතකය අළුත් කරලා දුන්නට

ජය වේවා..!!

නොම්මරේ said...

මැක්සා.. මමත් දැනට අවුරුදු පහකට විතර කලින් ගියා.. උබලම තමයි පාර පෙන්නුවේ....:D
මේ තරම් විස්තර දැනගත්තේ නම් දැන් මචෝ

priyantha.ඒබී said...

අපිත් ඇඩිෂම් ගියා වගේ දැනෙන්න පොස්ට් එක දාල තියෙනවා. යන්න නම් ආසයි දවසක ඇඩිෂම් බලන්න. බලමුකෝ වෙලාවක...

said...

මම ඕකට එකම එක සැරයයි ගියේ
ඒක ජීවිතේට අමතක වෙනෙන නැහැ මොකෝ මාව ටොයිලට් එකේ හිර උනා එලියෙන් දොර ලොක් වෙලා. ඒ කාලේ මොබයිල් ෆෝනුත්නැහැ යන්තම් බිත්තියට නැගලා එලියට පැන්නේ නැත්නම් තාම ඒහේ.

එළ ලිපිය මචන්. කොහොම උනත් උඹලගේ චාරිකා සටහන් නම් නියමයි
මට තමා හිතා ගනන් බැරි ෆා කොහොමද ඔය අස්සයාගේ පිටේ නගින්නේ කියන එක තමා :-D

ජේ.ඩී said...

හලේ.......... මම මේක බලන්ට ගිහින් නැ නොවැ. ඉස්මනටම මොනාහරි ජිල්මාටිස් එකක් දාලා යන්න ඔනේ මේක බලන්න. තැන්කෝzzzz වනිනි අයියා. දැන් ගිහින් බලල ආවමඇති විස්තරටික දන්නවනේ....... :D

Praසන්ன said...

මාත් ඕක බලන්න දෙපාරක් ගිහිං තියෙනවා. හැබැයි ඒ හැමදාම මහජනයාට වහපු දවස් හින්ද ඇතුලට යන්න හම්බ උනේ නැහැ.
ඒත් මේක කියෝපුවාම ගියා වගේ දැනෙනවා.

රංග - මගේ ලෝකය said...

එළ ලිපිය. උඹ අන්තිම ෆොටෝ එක යටින් වන්නි කවුද , බ්ලොගී කවුද කියල ලිවුවෙ දෙන්නගෙම කොන්ඩෙ දිග නිසා අපිට අඳුරගන්න බැරි වෙයි කියල හිතලද? ;-)

නිශ් said...

එල ලියමනක් වන්නියො. සුන්දර තැනක් ගැන සුන්දර විදිහට ලියල තියෙනව. අර හපුතලෙ ලයිට් කනුව ලඟ පහල පේන දර්ශනයත් එල. කියවන් යනකොට හිතින් ගියා ආපහු....

nawammawatha said...

මායි චූටිමැණිකෙයිත් පැණි හඳ බලන්න ගියගමන් ගියා. ඇත්තෙටම ඕකෙ ඇතුලට ගියාට බංගලාව ඇතුලටම යන්න දෙන්නෙ නෑනේ. ඒ උනාට වෙනසකත් එක්ක අමුතු තැනකට ආව කියල හිත හදාගත්ත. ඒක හරියට අර රොබින් හුඩ් එකේ තියෙන බලකො‍ටු වගේ මටනම් පෙනුනෙ. ඔන්න ඔතනින් තමයි ඉස් ඉසෙල්ලම නියම ස්ට්‍රෝබෙරි ජෑම් කෑවෙ. ආපහු එනගමනෙ ගේට්‍ටුව ගාව විකුනන උණුම උණු බඩ ඉරිඟු කරල් හතරකටත් වගකිව්ව.

yasith said...

මාත් ගිහින් තියනවා. කැම්පස් එකේනම් නොගිය කෙනෙක් නැතුව ඇති. කැම්පස් එකේ කපල් වලත් බලන්න යන ජනප්‍රිය තැන් වලින් එකක් තමා. අපිනම් කෝච්චියේ බදුල්ලෙ ඉඳන් හපුතලේට ගිහින් එතන ඉඳන් බස් එකේ හා පයින් තමා ගියේ. අපි ගිය දවසේ නම් දොඩම් ගස් වල තැඹිලි පාටට බල්බ් දාල වගේ තිබ්බා

තාරා said...

අනේ අපිනම් ගිය දවසේ එපා උනා කුෂාන් අයියේ. "no entry" විතරයිනෙ ඕකෙ බලන්න තියෙන්නෙ. අවට පරිසරය නම් ලස්සනයි. ඒත් "no entry" හැම තැනම. පස්සෙ අපි ඒකට නමකුත් දැම්මා "no entry" කියලා.

ඔයාලා ඇපල් ගස් දැක්කෙ පොටෝ ගැහුවෙ නැද්ද? ඇපල්, දොඩම් ගස් ටික නම් මරු...

රන්දික said...

එඩිශම් බන්ගලාව බලන්න මාත් 2පාරක් විතර ගිහින් තියෙනවා.ඒකට ඇතුල් උනාම එංගලන්තේ ගියා වගේ හැගීමක් දැනෙනවා.ලස්සන මල් හා පලතුරු වලින් පිරුනු සුන්දර දර්ශනයක් වෙන කොහෙදිවත් මන් දැකලා නෑ.

ඕනයා said...

මචං මම දන්නෙ නෑ මේ පහල ලිංක් එක මෙතනට අදාලවෙයිද කියල. ඒත් මේ පෝස්ට් එකට http://lankapriyagesithivili.blogspot.com/2011/02/blog-post_3455.html මම ගොඩක් කැමතියි.

Sac's Photoblog said...

ඔන්න මම මේ පැත්තේ අව කාලෙකට පස්සේ. හිතෙය් නිදහසක් නැති උනාම ලියන්න, කියවන්න මට ටිකක් අමාරුයි. ඊකෛ සද්ද නැතිව හිටියේ :). Motorcycle Diaries ෆිල්ම් එක බලල තිබේද? නැත්තම් බලන්න වටිනවා. මට මේක කියවද්දී මතක් උනේ. ටටා...

Lankapriya said...

ලංකාවට ගිය දවසට කකුල් පන තිබේව කියල පතනවා මේ දේවල් දැක ගන්න. එතෙක් උඹට පින් මෙහෙම අපිට පෙන්නනවට ..

සරත් ලංකාප්‍රිය said...

මොකද අලුතින් නොලියන්නේ ?

වන්නි said...

ඔන්න ලිව්වා!

surangamlr said...

මමත් ගියාෙනාවැ කසාද බැඳලා ආවැයින් පස්සේ ඔන්න අපේ නැන්දම්මාත් ඇගේ නගා(පුංචි අම්මා) සහ දුවත් මාමන්ඩිත් මස්සිනාත් අපි දෙන්නත් එක්ක. බොහොම ලස්සන තැනක් කියලා අපේ මාමණ්ඩිත් කිව්වා. එයාට පිල්ම් එකකටත් ගන්න පුළුවන් කියලා පොර වර්ණනාවක් එහෙමත් කොලා. හැබැයි ඕකෙ ඇතුලට යන්ට දුන්නේ නැති එක පිළිබඳවනම් ඒ අයගේ ප්‍රශංශාව ඕකේ භාරකාරුවන්ගේ දෙමව්පියන්ට ප්‍රදානය කලා. ඇයි ඕකෙ ටොයිලට් තිබෙන පැත්තේ ලොකු බොයිලේරුවකුත් තියෙනවා. ඒක බැලුවේ නැතෙයි? කොහොම වුනත් ආයෙ ඕක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරාගන්නා තුරු ඕකේ පස් නොපාගන බවට හිතං අපි පල්ලම් බැස්සා. හැබැයි තමුන්ගේ කියලා බයික් කට්ටක්වත් (ස්පීඩ් මීටරේ නැති එකක් වඩා හොඳයි)නැතුව ඔය ගමන යන්ට එපා. මොකද පයිං යාමක් තියෙනවනේ. අනෙක ඔයපාරේ බස් තියෙන්නෙත් දුරාවාරෙ. ඒව කබලෙත් කබල්. ඉතින් වන්නි උඹ යන ගමනක් පරෙස්සමෙන් නගත් එක්ක පලෙයන් අපිටත් විස්තර කියාපන්. බොලා දෙන්නට සුමන සමන් දෙයි හාමුදුරුවන්ගේ පිහිටයි.

Hasitha said...

මාත් පොඩි සන්දියේ මේක බලන්න ගිහින් තියෙනවා. මේ මන්දිරයේ ඉස්සරහ තියෙන කඳු පෙළ බලද්දී සොල්දාදුවෙක් නිදාගෙන ඉන්නවා වගේලු නේද ?

අර ත්‍රිමාණ රූපේ කතාව ඒ කාලේ නම් මට තේරුනේත් නැහැ. හැරෙන හැරෙන පැත්තට හැරුණුද කියලත් මතකයක් නම් නැහැ

Post a Comment