Thursday, December 22, 2011

ආරුகம் Bay – රළ බිඳෙන තැන

කාලෙකට පස්සෙයි මේ බ්ලොග් එක ලියන්නේ. සෑහෙන කාලෙකින් චාරිකාවක් යන්න අවස්ථාවක් ලැබුණේ නෑ. හේතුව ඒකයි.

ඒත් පහුගිය දවසක, ආරුගම්බේ යන්න අවස්ථාවක් හම්බ වුනා. ඒ නිසා මං හිතුවා ඒ චාරිකාවේ විස්තර ඔබත් එක්ක බෙදාගන්න.

කවුරුත් දන්නවානේ ආරුගම්බේ කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම ජනප්‍රිය වින්ඩ් සර්ෆින් ක්‍රීඩාවේ තෝ තැන්නක් කියලා. හැබැයි ඉතිං අපි යන්න ලෑස්ති වුන කාලේ ඔෆ් සීසන් එක. ඒකියන් පහුගිය 16 17 18 සති අන්තය.

අපේ යාළුවෝ කට්ටියක් කොළඹ ඉඳලා බෙරගල ට ආවා, සුපුරුදු විදිහට මමයි බ්ලොගී යි දෙන්නා බදුල්ලේ ඉඳන් බෙරගලට ඇද්දා. හැබැයි මෙදා පාර බයික් නෑ. බස් එකේ ඇද්දේ ;-)

බෙරගල ඉඳන් කොස්ලන්ද හරහා වැල්ලවායටත්, එතනින් බුත්තල හරහා මොණරාගලටත් අපි පුංචි වෑන් කට්ටක ඇදුනා. මොනරාගලින්, සියඹලාන්ඩුවට, එතනින් ලාහුගල කැලේ මැද්දෙන් පොතුවිල් වලට.

ගමන හරිම ඒකාකාරීය, එක දිගටම වාහනේ ඇතුලේ ගිය නිසා. හැබැයි ලාහුගල කැලේ මැද්දෙං යනකොට වට පිටාවේ තබ්බේ පුදුම දර්ශණයක්. ලා වැස්සත් එක්ක, අමුතු ගුප්ත බවක්, පාර ට ඉහලින් ඝනව වැඩුනු තුරු වියන අස්සෙන් යාන්තමට පාරට වැටෙන ආලෝකය, දෙපැත්තෙන් ඝණ කැලෑව, එක දිගට ඈතට පේන් පාර, පරිසරයට ගෙනාවේ බොහෝම අපූරු අත්දැකීමක්.

හවස් වෙනකොට අපි රංග ගේ බීච් හට් සොඳුරු නවාතැන් පල වෙත ලං වුනා. හිතුවටත් වඩා සෙඳුරු නවාතැන් පලක්. නවීන පණ්නයේ කොන්ක්‍රීට් තට්ටු නොව පරණ තාලේ තැනක්. පොල් අතු මඩු. ඒවා පුංචි කාමර. කෑම කන තැන පරණ තිරික්කලයක්. එතැනට ආපු ගියපු විදේශිකයන්ගේ ඡායාරූප, ඔවුන්ගේ සැමරුම් මේ ආදේ එකී මෙකී නොකී දේ බොහොමයි. ඊටත් පසුබිමෙන් රැව්දෙන ප්‍රේම් ජොෂුවාගේ රමණීය සංගීතය ඒ සොඳුරු නවාතැන්පලට එකතු කරේ බොහෝම ආකර්ෂණීය බවක්.

රංග, නවාතැන්පලේ හිමිකරු. මං මේලෝකේ දැකපු ආකර්ෂණීයම පිරිමි ඇස් වලින් දෙකක් ඔහුට තිබුනා. වෙනම හැඩකයක් ඔහු සතුයි. කතා විලාශය, අඳින් විදිහ. මහත බඩ, සරමක් වගේ මම නම දැන්නේ නැති රෙද්ද, විශාල උඩු කය ආවරණය. දිගට වැවූ බැඳපු කොණ්ඩේ. මේ හැමදේම ඔහුව අපූරු කලාත්මක මිනිසෙක් කරලා. ඔහුගේ තැනත් ඒවගේම කළාත්මකයි!

දැන් මාතෘකාවට, ආරුගම්බේ වෙරල.

මාතෘකාවට අදාලව කතා කරන්න පටන් ගන්නේ පහුවදා උදේ පාන්දරින්.

පාන්දර පහට මාත් තව මිත්‍රයින් කිහිප දෙනෙකුත් නැගිට්ටා ආරුගම්බේ සුන්දර වෙරල ඔබ්බෙහි පිහිටි, රංගගේ නවාතැනේ ඉඳලා හෙමිහිට වෙරළට ඇදුනා. නැගෙන හිර ක්ෂිතිජයෙන් ඉර තාමත් පායලා නෑ. ක්‍රමයෙන් 5.30 පහුවුනා. මෙන්න අපි බලාපොරොත්තු වෙන් හිටි ඒ දර්ෂණය උදා වුනා. රතු පාටට හුරු අහස, නැගෙන ඉර, වළාකුලු, මුහුදේ රළ, හඬ, මාළු රස්සාව කරන මිනිස්සු, වෙරලේ තිබ්බ ධීවර බෝට්ටු ඒ පරිසරය ප්‍රානවත් කරා.
මේ ගැන වචනයෙන් කියන්න මං දක්ෂ නෑ. ඒ නිසා පිංතූර ටිකක් බලල ඉමු.













මොකද ඔබ කියන්නේ. යන්න හිතෙනවා නේද තවත් එක සැරයක් ඒ පැත්තේ. ඇත්තමයි ඒ ගිණිකොණදිග වෙරල හරිම සුන්දරයි.

උදේ වරුවේ ඊලඟට අපි යන්න කියලා ලෑස්ති වුනේ කුඩුම්බිගල ට. අපි පොතුවිල් ටවුමෙන් උදේ කෑම අරගෙන කුමන කුරුලු පාරාදීසයට යන පාර කුඩුම්බිගල දෙසට ඇදුනා. අවාසනාවක මහත...

“ඊයේ පෙරේදා වැස්සට පාරවල් කැඩිලා. දැනුයි ඩෝසරේ ගියේ. අදනං කුඩුම්බිගල යන්න වෙන්නේ නෑ.“ ඒ පාරේ හිටපු මිනිහෙක් ගේ කටහඬ.

කරන්න දෙයක් නෑ. අපි ආපහු හැරුනා. පාර අයිනේ තිබ්බ සියඹලා, දිවුල් වගේ ගස් වලින් ගෙඩි කිහිපයකුත් කඩාගෙන එන ගමන් හැරිලා එන්න සිද්ද වුනු දුක නැති වෙන්නත් එක්කම, මේ චාරිකාවේ මට ගන්න ලැබිච්ච, මං කැමතිම පිංතූරේ ගන්න මට හැකි වුනා. මේන්න මේ කට්ටිය.


ඇයි ද මන්දා ඒ පිංතූරෙට මං හරිම කැමතියි. එදා ඉඳං මගේ කම්පියුටරේ වොල් පේපර් එකේ ඉන්නෙත් මෙයාලා :-)

ඊලඟට දැන් යන්න තැනක් හොයන්න එපැයි. යන්න හිටපු දිහා යන්න බැරි වුනානේ. අපි ගියා මුහුදු මහා විහාරේ පැත්තට. විහාර මහා දේවී ඇත්තටම ගොඩබැස්සේ මෙතනින් ලු. අනේ මන්දා ඇත්ත නැත්ත, නමුත් මං එක පිංතූරයක් ගත්තා. වැඩි වෙලා වක් අපි එහේ හිටියෙත් නෑ නේ. හැබැයි එක දිගට ඈතට විහිදිච්ච වැල්ල හරි අපූරුයි.


එතන ඉඳලා එපා වුනු පාර අපි දැං තැන් හොය හොය යන්න වුනා. ඒකත් අපූරු අත්දැකීමක් හැබැයි.
මී ලඟට අපේ ඉලක්කය වුනේ කෝමාරී වෙරල. තේරීම අසංග ගේ. හැබැයි යනකං මං හිතුවේ නෑ කෝමාරී වෙරල මෙච්චර ලස්සන තැනක් කියලා.






කෝමාරී හරිම ලස්සන වෙරල තීරයක්. බොහෝම සන්තෝසෙන් තමයි අපි එතනින් පිටත් වුනේ. ඒත් වෙලාව වැඩියි යන්න තැනකුත් නෑ. අපි තීරණයකට ආවා කොහේවත් බලන්න යන්න ඕන නෑ. කෑම අරගෙන කොහේට හරි ගිහින්, වාඩි වෙලා කතා කර කර ඉමු.

අපි නැවත පොතුවිල් පැත්තට ආවා. කෑම එහෙම අරගෙන. මෙන්න බොලේ, වම් පැත්තෙන ආරුගම්බේ වෙරල අපිට සමගාමීව තියෙද්දී අපි දැක්කා, දකුණු පැත්තෙන් ඒ හා සමාන සුන්දරත්වයක් තිබ්බ වැවැක්. කළපුවක් ද දන්නෙත් නෑ. හැබැයි මෝය කට ආසන්නවයි තිබ්බේ. අපි වෑක් එකත් ලඟින්ම නවත්තලා, තණ පිට්ටනියත් එක්ක තිබ්බ වැව් ඉස්මතට වැටුනා. තල් ගසුයි, නොයෙක් ආකාරය් හැඩැති සාමාන්‍ය ගසුයි අතර වැටිලා කතාවට වැටුනා. ඒ අතරේ මගේ කැමරාවට නං නිවනක් තිබ්බේ නෑ. අපේ මිත්‍රෙයක්ගේ අලුත ගෙනා දුර දර්ෂණ ඡායා රූප ගත කරන්න හැකි කැමරාවත් අරං මං ඔබ මොබ ඇවිද්දා.

වැව් ඉස්සමත්ත හරිම ලස්සනයි.










ඔහොමයි වැව් ඉස්මත්තේ දවස ගෙවුනේ. කතාවයි කෑමයි බීමයි විතරයි. එක අතකට තැන් බලන්න යනවා කියලා ට්‍රිප් එකක් ඇවිල්ලා, අරෙහේ මෙහේ දුවෑදලා හෙම්බත් වෙනවාට වඩා එක තැනකට එකතු වෙලා අල්ලාප සල්ලාපයේ යෙදෙමින් විවේක සුවයෙන් ඉන්න එක වටිනවා. ට්‍රිප් එකක් එන්නේ කොහොමත් විවේකය ගතකරන්න නේ.

එදා හවස මහ වැස්සත් එක්ක දවස නිමා වුනා. රෑට කාපු කොත්තුවයි, පාන්දර 1 වෙනකං කියව කියව හිටපු එකෙයි ප්‍රථිපල විදිහට පහුවදා උදේ 7 වෙනකං හොඳට නිංද ගියා. දැං ඉතිං ආපහු යන්න එපැයි.

යන්න කලිං අපි කාගෙත් හිත් ගත් රංගත් එක්ක ඉඳලා පිංතූරයක් ගන්නත් අමතක කලේ නෑ. ඔය ඉඳගෙන ඉන්න ගොඩේ රැවුලයි කොණ්ඩෙයි වවලා ඉන්නේ රංග හෙවත්, වෙනත් විදිහක කලාකරුවා.


ඔන්න අපි එන්න පිටත් වුනා කියන්නකෝ. ඔය වෑන් එකේ එන අතරේ තමයි තවත් බොහෝම ආකර්ෂණීය දෙයක් මං දැක්කේ. ආරුගම්බේ සහ පොතුවිල් පැත්තේ සෑහෙන්න ගොන්නු එහෙ මෙහෙ සැරි සරණවා අපි දැක්කා. ඒ වගේම ගොන් බැඳි කරත්තත් තියෙනවා කියලා අහලා තිබුණා. ඒත් හරි හමං එකක් දැක්කේම නෑ. ඒ පින පෑදුනෙත් ආපහු එන ගමන් අතර මඟදී. මොකද කලේ? වාහනෙන් බැස්ස, කරත්තෙත් එක්කම ඉස්සරහට ගිහිං මගේ ආසාව ඉෂ්ට කර ගත්තා.


ඉතිං ට්‍රිප එක ඉවර වෙච්ච දුකත් එක්ක අපහු වාහනේ නැගලා එනකොටයි මෙයාව දැක්කේ. හැබැයි වාහනෙන් බැහැලා දඟලන්න ගියොත් මෙයාව මිස් වෙනවා. අර මං කිව්ව අපේ මිත්‍රයගේ සූම් ලෙන්ස් එකේ වාහනේ ඇතුලෙම ඉඳලයි මෙයාගේ පිංතූරේ ගත්තේ. :-)


ඒ පිංතූරේ තමයි අන්තිම තෑග්ග. එහෙනං යාළුවනේ චාරිකාව ඉවරයි. යාළුවොත් එක්ක චාරිකාව පටන් ගත්තේ පුංචි ප්‍රශ්ණ වගේකුත් තියාගෙන දෙගිඩියාවකුත් එක්ක, එත් මං හිතුවටත් වඩා ට්‍රිප් එක බොහෝම රසවත් එකක් වුනා. හැබැයි ලොකු අඩුවකුත් ඒ චාරිකාව පුරා තිබ්බා. ඒක මං මෙතන කියන්න යන්නේ නෑ.

කියන්න තියෙන්නේ එක දෙයයි.
ඔයාලත් යන්න, හැබැයි බලන්න ගොඩක් තැන් දාගෙන කලබලේ රේස් යන්න මේ පලාතේ යන්න එපා. නිස්කලංකේ ගිහින් එන්න යන්න.

වැඩිපුර පිංතූර ඕනනම් මෙන්න සබැඳි කිහිපයක්

මගේ පිංතූර අඩවි‍යේ සබැඳිය
http://kushanwanniarachchi.wordpress.com

මගේ ෆ්ලිකර් සබැඳිය
http://www.flickr.com/photos/kushanwanniarachchi/sets/72157628493149585/show/

කවුරුත් යන එන ෆේස්බුක් සබැඳිය
http://www.facebook.com/media/set/?set=a.10150473940510116.383577.827600115&type=1

රංගගේ බීච් හට් නැමැති මනරම් සුන්දර නවාතැන් පල
http://www.facebook.com/pages/THE-BEACH-HUT-ARUGAM-BAY/295237929786?sk=info

එහෙනම් ගිහින් එන්නම්. සුභ නත්තලක් වේවා!!!

12 comments:

Anonymous said...

maru pinthura tika niyamayi!!!!!!

hare :-) said...

වෙනද වගේම උපරිමයි... තුන්වැනි ඇහැ අනිත් ඇස් දෙකටම වඩා තීක්ෂණ වෙමින් යනව නේ... :D

අපේ කාර්යාලෙ උදවියත් එක්ක 2009 ගියාට පස්සෙ ආයෙම යන්න උවමනාවක් මට තියෙනවා... මොකද ඒ වතාවෙ ගියා. බැස්සා. එච්චරයි මතක. ඇහැරෙනකොට බස් එක පස්සරත් පහු කරලා... :D

අර මී හරක් රංචුවේ පින්තූරෙට ආස වීමේ හේතුව හෝමෝන බලපෑමක් වෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය හරක්ට වඩා Me හරක්ට මාත් කැමතියි.

ජුකී වවුලා said...

ඔයා හරිම නරකය් මෙයා ... මම කැමතිම බාෂාව වන හින්දි වලින් කැල්ලක් ඔයාගේ නමට දාල නෑ නේ ...... නෝටියා

Jeew said...

නියම විස්තරයකුයි... පින්තූර ටිකයි...
අපිත් ජනවාරි මාසේ රවුමක් යන්ඩ හිතන් ඉන්නේ...
මේ ටික බොහොම වැදගත් වෙයි...

viraj rathnapriya said...

හිතවත් වන්නි,

සුන්දර ඡායාරූප පෙලක් සමගින් තවත් සුන්දර චාරිකා සටහනක් අපිත් එක්ක බෙදාගත්තාට බොහෝම ස්තුතියි.

2002/2003 කාලය‍ට පස්සේ තවමත් මට ඔයපැත්තට යන්න බැරිවුනා. එවකට මම සේවයකල ආයතනය, පොලිස් විශේෂකාර්ය බලකාය වෙනුවෙන් සිදුකල ඉදිකිරීම් කටයුතුරැසක් හේතුවෙන් අක්කරෙයිපත්තුවේ සිට පානම දක්වා වෙරලතීරය වසරකට ආසන්න කාලයක් අපේ නිවහන වුනා. රුදුරු වන සතුන් සහ නපුරු අවිගත් මිනිසුන් මැද ගෙවුන ඒ ජීවිතයේ සුන්දර මතකයන්ද බොහෝයි.

ඔබේ චාරිකා සටහනින් නැවතත් එවන් සුන්දර මතකයන් රැසක් අවදිවූබවනම් නොකියාම බැහැ.
ප.ලි.
අර චාරිකාවේ තිබ්බාය කියපු අඩුපාඩුව සියඔලාන්ඩුව හංදියෙන් පස්සේ ඇතිවූ එකක්ද ? එහෙම නම් නියන්න තියෙන්නේ, ඒ කාලෙත් එහෙමම තමයි කියලායි.

ජය !

විරාජ්

වන්නි said...

ස්තූතියි ඇනෝ,

හරේ- බොහෝම ස්තූතියි මචං. මමත් ඒනිසාම වෙන්න ඇති “මී“ හරක් ට ආස ;-)

ජුකී වවුලා - හරී හොඳ නෑ... කළිං කියන්න එපැයි... ඔයත් නෝටියා... :-)

@ජීව්- ඇත්තටම නිදහසේ රවුමක් ගහනවානම් නියම පලාත මචං! සුභ ගමන්. ගිහිං වරෙන්!

@විරාජ්,
බොහෝම ස්තූතියි පුථිචාරයට. ෂා ඒ කාලේ කොහෝම තියෙන්න ඇත්ද. දැං නං සත්තු නං එච්චර පේන්න නෑ මයේ හිතේ.
ප.ලි ට පිළිතුර... නෑ නෑ එහෙම එකක් නෙමෙයි මචං. වෙනදා ට්‍රිප යන සෙට් එකත් එක්ක මෙදා පාර අපිට යන්න වුනේ නෑ. පොඩි ගැටළුවක් නිසා ඒකයි. ඔයා කියන එක නං හිතා ගත හැකි. ඒත් හරිමටම ෂුවර් නෑ ඔයා අදහස් කලේ ඒකද කියලා :-)

ඕනයා said...

අඩේ . . නියමයි බොල . . මට මගෑරුන තැං කීපයෙං එකක් තමයි ඔය . . අනිවා යනව

මාරයාගේ හෝරාව said...

උඹේ කැමරාව උස්සන්න මං මේ ප්ලෑන් කරන ගමන්...හිටු...

නියමයි වන්නියා...පොතුවිල් ආරුගම්බේ පැත්තේ මං ගියේ සුනාමියෙන් දවස් කිහිපයකට පස්සේ..දෙවතාවක් ගියා..ආයේ වංගියක් යන්න හිටියට මට වෙලාවක් අහු උනේ නැහැ...ඒත් ඉදිරි මාස කිහිපයේදී නැගෙනහිර වෙරළ ආවරණය කරන්න මට පුළුවන් වෙයි කියලා හිතනවා...

සරත් ලංකාප්‍රිය said...

නියමයි.. පියාඹලා යන්න හිතෙන තරමට..

Lishan Puwakowita said...

මට මෙහෙම එකක් ලියලයි කිව්වේ අපේ වසල්ස්..! මේක ගති.., රූප ටික ගන කියන්න ඕනෙ ටික මම කෝල් කරලම කිව්වා නේ..! ජය!!

Hasitha said...

ෆොටෝස් ටික නම් උපරිමයි :)

Seruvila S said...

IF YOU PROCEED TO AKKERAI PATHTHU FROM POTUVIL YOU CAN SEE A GOOD cross section of TAMIL VILAGE LIFE.
CANDLELIT DINNER {KEROSEIN KETTALE LAMPS] AT RANGAA'S HUT IS A NEW EXPERIENCE FOR ALL WITH FULL OF SEA FOOD.

Post a Comment